ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි රටට දැනුම් දෙන්නේ සිල්ලරට කොලකෑල්ලකින් නොව බෙර, හේවිසි, තම්මැට්ටම් ගසා උත්සවශ්‍රීයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අද (19දා) පැවසීය.
නොනගතය වෙලාවේ කිරිබත් කා මූසලයන් වීමට තම කණ්ඩායම සූදානම් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් නිශාන්ත මහතා,
“ 2020ට තව කල් තියෙනවා. අපි කිරිබත් කන්නේ නැකතට.නොනගතය වෙලාවේ කිරිබත් කන්නේ මූසලයෝ. නොනගතය වෙලාවේ කිරිබත් කාලා මූසලයෝ වෙන්න අපි සූදානම් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන්, බුද්ධිමතුන් එකතු කරගෙන වැඩපිළිවෙළක් කරගෙන යනවා. බැසිල් රාජපක්ෂ මහතා වෙනම වැඩපිළිවෙළක් සිදු කරනවා.නාමල් රාජපක්ෂ මහතා තරුණ සංවිධාන හදාගෙන ඉදිරියට යනවා. මේ සියලු දෙනා එකතුවෙලා වැඩකරද්දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරාවි. අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියා නම් කරන්නේ සිල්ලරට කොලකෑල්ලකින් නෙමෙයි. බෙර,හේවිසි, තම්මැට්ටම් ගහලා, මුළු රටම එකතු කරපු දවසකදී තමයි කවුද කියලා හඳුන්වා දෙන්නේ.‘ යනුවෙන් පවසා සිටියේය.
