III වන ශ්‍රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229ට පත්වීම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි ශක්තිමත් කරමින් සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම ඉලක්ක කරගනිමින්, III වන ශ්‍රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (23) සිදු කෙරිණි.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙනි.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ නීතිමය බලතල ක්‍රියාත්මක වන මූලික කණිෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරී බලකාය වන්නේ මෙම වනසත්ත්ව නියාමකවරුන් ය.
ස්වභාවික සම්පත් සහ ජනජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් වෙත පැවරෙන ප්‍රධාන වගකීම් වන්නේ ගම්වදින වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම, අලි වැට නඩත්තුව හා පාලනය, සහ ගැටුම් පවතින ප්‍රදේශවල ජනජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ පෙරමුණ ගැනීම, රක්ෂිත ප්‍රදේශ තුළ සිදුකෙරෙන අනවසර ඇතුළුවීම්, වනසතුන් දඩයම් කිරීම, මදු සහ විදුලි රැහැන් ඇටවීම් වැටලීම මෙන්ම ජෛව සම්පත් කොල්ලකෑම් මැඩපැවැත්වීමත්, ජාතික වනෝද්‍යාන, අභයභූමි සහ ස්වභාවික රක්ෂිත ආවරණය වන පරිදි පැය 24 පුරා මුර සංචාරවල යෙදෙමින් වනජීවී වාසස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම මෙන් ම විවිධ උවදුරුවලට, අනතුරුවලට හෝ උගුල්වලට හසුවන වනසතුන් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය ඒකක වෙත යොමු කිරීමේ ක්ෂේත්‍ර මෙහෙයුම් දියත් කිරීම මෙම නියාමකවරුන් වෙත පැවරේ.
අලි-මිනිස් ගැටුමෙන් වඩාත්ම පීඩාවට පත්වන ග්‍රාමීය මව්වරුන්, දරුවන් සහ පවුල් ඒකකයන්වල ගැටුම්කාරී හෝ ආවේගශීලී අවස්ථාවලදී පීඩාවට පත් ප්‍රජාව සමඟ වඩාත් සංවේදීව, ඉවසීමෙන් සහ සානුකම්පිතව සන්නිවේදනය කරමින් තත්ත්වය සමනය කිරීමටත්, ගැටුම් වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමටත් කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වය අතිශය ඵලදායී වේ.
තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ මාලාවක් මඟින් ඉහළම සුදුසුකම් සපුරාගත් පිරිමි නිලධාරීන් 223 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 06 දෙනෙකු මෙලෙස බඳවාගෙන ඇත.
වනජීවී සංරක්ෂණ පනත යටතේ නීතිමය බලතල හිමිවන මූලික ක්ෂේත්‍ර බලකාය ලෙස ක්‍රියාත්මක වන මෙම නිලධාරීන්, මාස හයක විධිමත් පුහුණු කාලසීමාවකට යටත් කෙරේ. ඒ අනුව රන්දෙණිගල, රිටිගල, මාදුරුඔය සහ ගිරිතලේ යන වනජීවී පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් වනජීවී කළමනාකරණය, නීතිය ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික ක්ෂේත්‍ර කුසලතා සහ ආකල්ප සංවර්ධනය පිළිබඳ පූර්ණ නේවාසික පුහුණුවක් ඔවුන් වෙත ලබා දීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම සය මසක පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් ස්ථිර සේවයට අනුයුක්ත කෙරෙන අතර, ඔවුන් ප්රමුඛව දිවයින පුරා පවතින දැඩි අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ විශේෂ මෙහෙයුම් සහ වන සම්පත් ආරක්ෂා කිරීමේ සක්‍රීය රාජකාරි සඳහා ක්ෂේත්රගත කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

