ETI අක්‍රමිකතා විමර්ශන කමිටුව ජනපති හමුවෙයි
ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි.
අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාවගේ තැන්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට වැඩි අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නේය. සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.
මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටී. එය මහ බැංකුවෙන් ඉටුවී නැතැයි ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරයි. විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

