කොවිඩ්-19 එන්නත ගෝලීය ප්‍රවේශ (COVAX) පහසුකම යටතේ චීනය විසින් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 10ක් ලබාදෙන බව චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කළේය.
"මෙය චීනය විසින් එන්නත් සමානව බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම සහ සැමට ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීම සඳහා ගනු ලබන තවත් වැදගත් පියවරක්" යනුවෙන් වැන්ග් පැවසීය.
චීනය COVAX වෙත නිල වශයෙන් සම්බන්ධ වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යයි. එමෙන්ම කොවිඩ්-19 එන්නත් ගෝලීය පොදු භාණ්ඩ බවට පත් කිරීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් ලබා ගැනීමේ හැකියාව සහ දැරිය හැකි මිල ඉහළ නැංවීමට ඒකාබද්ධ උත්සාහයක් ගන්නා බවට පොරොන්දු වී ඇත.
ගෝලීය එන්නත් බෙදාගැනීමේ COVAX පහසුකම මගින් මේ මාසයේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් බෙදාහැරීම අරඹා ඇති අතර, එන්නත් මාත්‍රා බිලියන තුනකින් මේ වසරේදී බිලියන දෙකක් ලබාදීමට අපේක්ෂා කරයි.
මෙහිදී දිගටම COVAX සමග සහයෝගයෙන් කටයුතු කරන බව පවසා සිටි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩකටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක්ද කළේය.
චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධකයන් වන සීනොවැක්, සීනොෆාම් සහ කැන්සිනෝ විසින් COVAX හා සම්බන්ධ වීමට දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ජනවාරි 20දා වාර්තා කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මීට පෙර කියා සිටියේ එන්නත් ජාතිකවාදය ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයේ" අද්දරට ගෙනැවිත් ඇති බවත්, මාත්‍රාවන් වඩාත් සාධාරණ ලෙස ලොව පුරා ව්‍යාප්ත කරන ලෙස රටවල් හා නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය. එවැනි පසුබිමක චීනයේ මෙම ඉදිරිපත්වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට මහත් රුකුලක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.