“සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ණය මුදලක් හා ආසියානු සංවර්ධන බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන දරිද්‍රතාවය අවම කිරීම සඳහා වූ ජපන් අරමුදල මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 03 ක මුදලක් ප්‍රදානයක් ලබා ගැනීමට තීරණය කොට තිබේ.
මෙම මූල්‍යකරණය මගින් ලැබෙන අරමුදල් කොවිඩ් -19 වසංගතයේ තුන්වැනි රැල්ල කළමනාකරණය කිරීම පිණිස වූ රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට මෙන්ම දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට සම්බන්ධව කලින් සැලසුම් කළ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය මගින් දායක වනු ලබන ඇ.එ.ජ.ඩොලර් මිලියන 10 ද ඇතුළත්ව මුළු ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය ඇ.එ.ජ.ඩොලර් මිලියන 123 ක් වන අතර ව්‍යාපෘතිය 2025 නොවැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.
පිළිවෙලින් ඇ.එ.ජ.ඩොලර් මිලියන 110 ක ණය මුදලක් හා ඇ.එ.ජ.ඩොලර් මිලියන 3ක ප්‍රදාන මුදලක් ලෙස වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීම සඳහා වූ අතිරේක මූල්‍යකරණය සඳහා වන ණය ගිවිසුම හා ප්‍රදාන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ චෙන් චෙන් මහතා විසින් අද ( 07දා) අත්සන් තැබීය.
