පැවැති ජනපතිවරණයේදී පොදු විපක්ෂය ලැබූ ජයග්‍රහණය පිළිබඳව 1996 වසරේ ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් ලද සතුටට වඩා සතුටක් ලැබී බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.
එසේ වුවත් එම ජයග්‍රහණය පෙරළා දමා රට ගොඩ නැගීමේ කටයුතු ආරම්භ කළත් එය අඩපණ කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අගාමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ලිපියක් ලියමින් ඔහු සඳහන් කරයි.
එහෙයින් ඉදිරි මැතිවරණයේදී දූෂිතයන්ට නාම යෝජනා ලබාදීමෙන් වැළකී සිටින ලෙසත් අමාත්‍යවරයා ජනපතිවරයාට හා අගමැතිවරයාට යෝජනා කරයි.
අමාත්‍ය අර්ජුණගේ ලිපිය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි,
අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමනි,
මා මේ ලිපිය ලියන්නේ පක්ෂ දේශපාලනයට වඩා රටට හිතැති දේශපාලන දර්ශනයට ගරු කරන පුරවැසියකු ලෙසිනි. ඔබතුමන්ලාගේ නායකත්වය යටතේ පසුගිය ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවාසී අප ලැබුවේ සුවිශේෂී දේශපාලන විජයග්රහණයක් බව මගේ අවංක හැඟීමයි. 1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වූ මට එම දේශපාලන විජයග්‍රහණයේ කොටස්කරුවකු වීමට හැකි වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙමි. සියලූ වරප්‍රසාද ඉවතලා ජීවිත අවධානමද නොතකා පසුගිය ජනාධිපතිවරණයේ ප්රමුඛ සටන්කාමියකු ලෙස ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ඉදිරියටම පැමිණියේ මටත් වඩා රටගැන සිතූ නිසාය. 1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමෙන් මා ලැබූ අප්‍රමාණ සටතුටත් වඩා වැඩි සතුටක් පසුගිය ජනවාරි 8වැනිදා මම අත්වින්ඳෙමි.
අතිගරු ජනාධිපතිතුමනි, අතිගරු අග්රාමාත්යතුමනි, පසුගිය ඒකාධිපති රෙජීමයේ රිඳුම් අතිශය භයංකරය. වේදනාකාරීය. උපන් රටේ අහසත්, පොළවත්, සයුරත් ස්වකීය ග්‍රහණයට නතුකර ගත් එක පවුලක් ජාතික සම්පත් සිතු සිතු සේ භුක්ති වින්ඳහ. ත්‍රස්තවාදය නොමැති වුවත් විවිධ භීතින්ගෙන් මුළු රටම අකර්මණ්‍ය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මාද එදා ජීවත් වූයේ දැඩි පීඩනයකිනි. රෙජීමයෙන් සාමාන්‍ය අහිංසක ජනතාවට එල්ල වූ පීඩනයේ සහ භීෂණයේ විශාලත්වය එයින්ම අපට ගණනය කළ හැකිය. අප වෙනුවෙන් නොව අපේ දරුවන් වෙනුවෙන් එම අඳුරු යුගය අවසන් කිරීම උදෙසා කොළඹ විහාරමහාදේවී උද්‍යානයට සියලූ භේද අමතක කර පැමිණි සියලූ දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන එකඟතා ගිවිසුමකට එළැඹියේ ඉකුත් වසරේ දෙසැම්බර් පළමුවැනිදායි. දෙසැම්බර් පළමුවැනිදා මගේ උපන්දිනයයි. මගේ හදවතට අතිශය සමීප, පෞද්ගලිකව වැදගත් වූ එවැනි දිනයක, රටට අපමණ අගයක් එක් කරන මෛත්‍රී යුගයක් උදෙසා සියලූ පක්ෂ සහ පුරවැසි සංවිධාන එ්කරාශී වීම, මගේ ජීවිතයේ මා ලැබූ හොඳම උපන්දින තිළිණයයි.
අතිගරු ජනාධිපතිතුමනි, අතිගරු අග්රාමාත්යතුමනි, ජනවාරි අටවැනිදා ඔබතුමන්ලාගේ නායකත්වය යටතේ සාමූහිකව අප සනිටුහන් කළේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පරමාදර්ශී යුගයක ආරම්භයයි. වසර 10ක් රට විනාශ කළ ඒකාධිපති පවුල් පාලනය පෙරළා දමා පක්ෂ විපක්ෂ සියලූ දෙනා එක්ව රට ගොඩ නඟන මහා සංග්‍රාමයයි. එහෙත් එම සංග්‍රාමය අඩපණ කර අපේ රට නැවත පවුල් පාලනයකට ගොදුරු කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කෙරෙන බවද අපි සැවොම දනිමු. මා දැඩි කම්පනයට සහ තැතිගැන්මට ලක්ව සිටින්නේ එම කුමන්ත්රණයේ මහ මොළකරුවන් සහ
කොටස්කරුවන් අප අතරම සිටීම වේ. පසුගිය රෙජීමයේ සුවච කීකරු සේවකයින් වී මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑ බුකීකරුවන්, සූදු ඒජන්තවරුන්, කුඩු එතනෝල් සහ කළුකඩ ඞීල් ව්‍යාපාරකයින් වූ ඔවුහු ගෞරවනීය දේශපාලනයක නිරත වන ඔබතුමන්ලාටද සමීප වීමට මාන බලමින් සිටිති. ඔවුන් යළිත් උත්සාහ කරන්නේ අළුත් පිරුවට ඇඳ මහජන මුදල් වෙනත් විලාසයකින් ගසා කෑමටයි. එය පරාජය කිරීම අද අප හමුවේ ඇති අභියෝගයද වේ.
අතිගරු ජනාධිපතිතුමනි, අතිගරු අග්රාමාත්යතුමනි, කුමන අවස්ථාවක පැමිණියද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයකි. පසුගිය ජනවාරි 8වැනිදා ඔබතුමන්ලාගේ නායකත්වයෙන් සාමූහිකව අප දිනූ දේශපාලන විජයග්‍රහණයේ අනාගතය එහි ප්‍රතිඵලය මත තීරණය වෙනු ඇත. එබැවින් මම ඔබතුමන්ලාට කාරුණිකව යෝජනා කර සිටින්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බුකීකරුවන්ට, සූදු ඒජන්තවරුන්ට, කුඩු එතනෝල් සහ කළුකඩ ඩීල් ව්‍යාපාරකයින්හට කිසිම විටක නාමයෝජනා ලබා නොදෙන ලෙසයි. වැඩිදුරටත් එම පදනම මත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලබන ූෂිත පුද්ගයින්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන ලෙසත්, එසේම එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා නොලබන දූෂිතයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන ලෙසත්, මම කාරුණිකව ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමන්ටත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයා ලෙස අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමන්ටත් එය කළ හැකි බවද මම අවංකව විශ්වාස කරමි.
අතිගරු ජනාධිපතිතුමනි, අතිගරු අග්රාමාත්යතුමනි, ලංකා ඉතිහාසයේ පළමු වරට උතුරේත් දකුණේත් සියලූ දේශපාලන පක්ෂ සහ ජන කොටස් එක අරමුණක් කරා මෙහෙය වීමට ඔබ සමත් වී ඇත. එකිනෙකට වෙනස් වූ අන්‍යනතා සහිත දේශපාලන පක්ෂ දෙකක නායකයින් වුවද අද ඔබතුමන්ලා රටට නායකත්වය ලබා දෙන්නේ එක මේසයක වාඩි වී එකට සාකච්ඡා කර සාමූහික තීරණවලට එළැඹෙමිනි. ඒ හා සමානව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා නාමයෝජනා ලබා දීමේදී එක මේසයක වාඩි වී එකට සාකච්ඡා කර රටට හිතැති තීරණ ගන්නා මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. නාමයෝජනා ලබා දීම සඳහා සුදුසු නිර්ණායක සහ මාර්ගෝපදේශමාලාවක් හඳුන්වා දෙන ලෙසද මම යෝජනා කරමි.
අද අප කළ යුත්තේ හොඳ සහ නරක මිනිසුන් අතරින් හොඳ මිනිසුන් තෝරා ගන්නා ලෙසට මහජනතාවට පැවසීම නොවේ. පක්ෂ නායකයින් වූ ඔබතුමන්ලාගෙන් අප ගෞරවයෙන් අපේක්ෂා කරන්නේ හොඳ මිනිසුන් අතරින් හොඳම මිනිසුන් තෝරා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව උදාකර දීමයි. ඉකුත් පාලනයේ ගැත්තන් වී, අහිංසක ජනතාව කුසගින්නට ගොදුරු කර, ජාතික සම්පත් සොරා ගනිමින් අපේ රට විනාශයෙන් විනාශයට පත්කළ දූෂිතයින්, වංචාකාරයින් සහ ඞීල්කාරයින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය කිරීම සඳහා ඇති සුදුසුතම ක්‍රමය එය බවද මම අවංකව විශ්වාස කරමි. පසුගිය ජනාවාරි 8වැනිදා අප දිනාගත් දේශපාලන විජයග්‍රහණය සුරක්ෂිත කිරීම සඳහා ඇති අවස්ථාව මඟ නොහරින ලෙසද මම ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එයින් තවදුරටත් තහවුරු වන්නේ එ්කාධිපති පවුල් පාලනයට එරෙහිව පොදු ජනතාව හිමිකර ගත් විජයග්‍රහණය බවද මම අවසාන වශයෙන් අවධාරණය කරමි.
තෙරුවන් සරණයි.
මෙයට - විශ්වාසී,
අර්ජුන රණතුංග.