කිසිදු ලෝක බලවතෙකුට මහා මිනිස් සංහාරයක් කිරීමේ අයිතියක් නොමැති බවත්, ඔවුන් සියලු දෙනා න්‍යෂ්ටික අවිආයුධවලින් තොරව සාමකාමී ලෝකයක් බිහිකිරීම සඳහා කටයුතු කළ යුතු බවත් කියුබාවේ අසහාය නායක ෆිදෙල් කැස්ත්‍රෝ අවධාරණය කරයි.
90 වැනි වියට පා තබමින් විශේෂ ලිපියක් ලියන සමාජවාදී නායකයා මෙම අදහස් පළ කර ඇති අතර, ඔහු වෙනුවෙන් සංවිධානය වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ රාත්රියේදී සංවිධානය වී තිබුණි.
මෙම අවස්ථාවට කියුබාවේ වත්මන් නායක හා ෆිදෙල් කැස්ත්‍රෝගේ සහෝදරයා වන රාහුල් කැස්ත්‍රෝ සහ වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝද සහභාගී වී සිටියහ.
මෙම ලිපියේදී විශේෂයෙන්ම චීනය හා රුසියාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කැස්ත්‍රෝ පවසන්නේ, චීනය හා රුසියාව වැනි සුවිශේෂී බල කඳවුරු වෙතින් න්‍යෂ්ටික තර්ජනයක් සිදුවිය නොහැකි බවයි. එම ජනතාව සුවිශේෂී ධෛර්යයකින් හා බුද්ධියකින් හෙබි ජනතාවක් බවද ඔහු පවසා තිබේ.
එමෙන්ම, වර්තමානයේදී මිනිස් සංහතිය එදාමෙදාතුර මුහුණදෙන බලවත්ම අනතුරක් අභියස සිටින බවද ෆිදෙල් පවසා ඇත. ඒ නිසා ලොව පුරා සාමය ඇති කිරීමට සියල්ලන්ම කටයුතු කළ යුතු බවත්, කිසිදු ලෝක බලවතෙකුට මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකිරීමට අයිතියක් නොමැති බව තමා විශ්වාස කරන බවත් ෆිදෙල් වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, පසුගියදා ජපානයේ හිරෝෂිමා නගරයේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ කතාව දැඩිව හෙළා දැකීමටද මෙහිදී ෆිදෙල් කටයුතු කර ඇත. එහිදී, ජපාන ජනතාවගෙන් සමාව ගැනීමට ඔහු අපොහොසත් වූ බවද ඔහු අවධාරණය කර තිබේ.
පරමාණු බෝම්බයේ බිහිසුණු බව දැන දැනත් හිරෝෂීමාවේදී ඝාතනය වූ දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සමාව ගැනීමක් ඔබාමාගේ වචනවල නොතිබූ බව ෆිදෙල් පවසා ඇත්තේ, නාගසාකි වෙත එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයද ඒ හා සමාන අපරාධයක් බවද සිහිකැඳවමිනි.
එමෙන්ම, තමා ඝාතනය කිරීම සඳහා ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය දියත් කළ සැලසුම්ද ගෙනහැර දැක්වූ ෆිදෙල්, තමාගේ ළමා කාලය මෙන්ම යෞවන අවධිය පිළිබඳවද සිය 90 වැනි ජන්ම දිනයේදී යළි සිහිකැඳවීමක් සිදුකර තිබේ.