4U 9525 යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේදී අනතුරට ලක්කළ බවට චෝදනා ලැබ සිටින සහාය ගුවන් නියමුවා නිවාඩු සමයන් හිදී නිදහස් ගුවන් තරණ (ග්ලයිඩින්ග්) ක්‍රීඩාවේ යෙදෙන බැවින් ඇල්ප්ස් කඳුකරය පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවූවෙකු බව බලධාරීහු පවසති.
මොනටබෝර් නිදහස් ගුවන් තරණ විද්‍යාලයේ සාමාජිකත්වය දරණ සහාය ගුවන් නියමු ලුබිට්ස් මෙම කලාපය තුළ කිහිප වරක්ම නිදහස් ගුවන් තරණයන්ට එක්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඔහු වයස අවුරුදු 9 සිටම සිය දෙමවුපියන් සමග මෙම කලාපයේ සංචාරය කර ඇති බවට ප්‍රංශ පුවත්පත් කියයි.
කෙසේ වෙතත්, A320 එයාර්බස් යානයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගෙන එය අනතුරට ලක්කිරීම සඳහා ලුබිට්ස් පෙළඹවූ සිදුවීම කවරක්ද යන්න සොයා ගැනීමට මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙන බවද බලධාරීහු පවසති.