ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට වර්තමානයේ හිමිකම් කියනු ලබන්නේ පින්නවල බවත්, මේ වනවිට ( ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තිබෙන බවද ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය මහත්මිය පසුගියදා (16දා) පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය,
"අපි මෙම ස්ථානය මුලින්ම පටන් ගත්තේ අනාථ වෙච්ච අලි ඇතුන් ගෙනවිත් තබා එක් රැස් කරලා තිඛෙන සංරක්ෂණ මධ්‍යස්ථානයක් විදිහට. නමුත් 1984 දී අපේ පළමු අලි උපතත් සමග මේ ස්ථානය අභිජනන මධ්‍යස්ථානයක් විදිහට නම් වුණා. අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ අපි. මේ වනවිට අලි උපත් 71 මෙහි සිදුවෙලා තියෙනවා.
එසේම, වසරකට අපි රුපියල් මිලියන 800 ක ප්‍රමාණයක් ලංකාවේ ආර්ථීකයට අපි එකතු කරනවා. අපේ සේවක මහතුන් රටට ජාතියට ණය නැති අය. මෙ ආයතනයේ දියුණුවට අපේ සේවක මහතුන් මෙන්ම මේ ස්ථානය නැරඹීමට එන සියලු දෙනාගේ දායකත්වය නිසා තමයි මේ ස්ථානය මේ තරම් දියුණු වුණේ. මෙහි සේවක මහතුන් සතුන් හොඳින් රැක බලා ගත්තේ නැත්නම් අලි ඇතුන් බැලීමට මෙ තරම් සෙනගක් එන්නේ නැහැ." යැයි පවසා සිටියාය.
ගත වූ වසර 40 තුළ මෙහි වරින් වර අලි ඇතුන් දෙසියකට වැඩි දෙනෙකු රැකවරණය ලද අතර අද දවසේ මෙහි රැකවරණය ලබන අලි ප්‍රමාණය 89 ක් පමණ බවත්, දිවයිනට පැමිණෙන සංචාරකයන්ගෙන් 87% ක් මෙහි පැමිණෙන බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් පවා හෙළිවී තිබෙන බවද රේණුකා බාලසූරිය මහත්මිය අනාවරණය කළාය.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර