26 දා තෙක් කෝචින් ගමන් නෑ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුරා පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා කෝචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ යළිත් මේ මස 26දා තෙක් වසා තැබීමට එම ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබේ.
විශේෂයෙන් එම ගුවන් තොටුපොළේ පර්යන්ත ගොඩනැගිලි මෙන්ම ගුවන් ධාවන පථය ද ගංවතුරට යට වීම නිසා මේ පියවර ඔවුන් විසින් ගෙන තිබේ.
මේ තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ සිට කෝචින් ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා සියලුම ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ද මේ මස 26 දා තෙක් අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් ද පියවර ගෙන තිබේ.
එහෙත් ත්‍රිවේන්ද්‍රම් හෝ වෙනත් ඕනෑම දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළ ඔස්සේ කෝචින් ගුවන් තොටුපොළ වෙත ළඟා වීමට හෝ , එහි සිට පැමිණීමට අවශ්‍ය ගුවන් මගීන් , කිසිදු අමතර අය කිරීමකින් තොරව ගුවන් ගමන් පහසුකම් සැළසීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරමින් තිබේ.
මේ සදහා අමතර ගුවන් යානා රාශියක් ද අවශ්‍යතා මත යොදවා තිබේ. මේ සදහා අවශ්‍ය වැඩිදුර විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ 1979, ඉන්දියාවේ කෝචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් කාර්යාලයේ (91)4842611313 හෝ (91)4842362042 දුරකථන අංක ඔස්සේ ඇමතීමෙන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටී.
ටී.කේ.ජී. කපිල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

