20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ දී යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ.
20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය වුවහොත් ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ මේ දිනවල සලකා බලමින් පවතින බවත්, පසුගිය ආණ්ඩු සමයේ විවිධ චෝදනාවලට ලක්වූ මන්ත්‍රීවරුන්ගේ සහාය කිසිදු අයුරකින් ලබා නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වේ.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයන් සමගද මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත්, ඒ අනුව ආණ්ඩුව තුළින්ම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ හැකියාව පැවතියද යම් හෙයකින් කිසියම් කණ්ඩායමක් ඊට සහාය ලබා නොදීමට තීරණය කළහොත් යන අවදානම මත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආරංචිමාර්ග සඳහන් කළේය.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් වෙනුවට නාමික ඡන්ද විමසීමකට යා යුතු බවට විපක්ෂයෙන් කරන ලද යෝජනාවට ආණ්ඩු පක්ෂයද එකඟවීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
එසේම මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වේ.