රුවන් කාශ්‍යප
2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමග එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගි වෙමිනි.
මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය වන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් බිහිකරලීමට ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේදී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමග ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසෙන බවද ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේ පැවැති මෙම සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
