බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සෙනසුරාදා ධනවත් රටවල් හතේ (G7) නායකයන්ගෙන් ඉල්ලා සිටියේ 2022 අවසන් වනවිට කොවිඩ්-19 වෛරසයට එරෙහිව මුළු ලෝකයම එන්නත් කිරීමට කැපවන ලෙසයි.
වසර දෙකකට ආසන්න කාලයකින් පසුව G7 නායකයන්ගේ ප්‍රථම මුහුණට මුහුණ සමුළුවට ජොන්සන් ප්රමුඛව බ්‍රිතාන්‍ය සත්කාරකත්වය සපයනු ඇත. 47 වැනි වරට පැවැත්වෙන මෙවර සමුළුවට පෙර සමූහයේ මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක්ද පැවැත්වෙයි. මෙම අවස්ථාව ගෝලීය එන්නත් කිරීමේ ඉලක්කය ළඟාකර ගැනීමේ ප්‍රතිඥාවක් ලබාගත හැකි අවස්ථාවක් බව බොරිස් පැවසීය.
"ලබන වසර අවසන් වනවිට ලොවටම එන්නත් කිරීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇති" බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. "මේ භයානක වසංගතය අවසන් කිරීම සඳහා අප හා එක්වන ලෙස මම මගේ සෙසු G7 නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් අහිමි වූ විනාශය නැවත සිදුවීමට අපි කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුයි."
එලැඹෙන ජුනි 11දා නිරිතදිග එංගලන්තයේ කෝර්න්වෝල් හි ආරම්භ වන තෙදින සමුළුව සඳහා ජර්මනිය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඉතාලිය, ජපානය, යුරෝපා සංගමය සහ කැනඩාව යන රටවල නායකයන් ජොන්සන් සමග එක්වනු ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු ඔහු සිදුකරන පළමු වැනි විදෙස් සංචාරයද මෙය වනු ඇත.
ධනවත්ම රටවල් ඔවුන්ගේ ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් එන්නත් කර ඇති පසුබිමක, බොහෝ දුප්පත් රටවලට එන්නත් ලබා ගැනීමට සමාන ප්‍රවේශයක් නොමැත. සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ වැඩි වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් ප්‍රමාණයක් ලෝකයට පරිත්‍යාග නොකළහොත් වෛරසය දිගටම ව්‍යාප්ත වී වෛරසයේ විවිධ ප්‍රභේද ඇති වන බවයි.
මුදල් ඇමතිවරුන්ගේ රැස්වීම සඳහා ලන්ඩනයේ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ධනවත් රටවල් විසින් කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට නොහැකි දුප්පත් රටවලට එන්නත් ලබාදීම ප්‍රවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවක් බවයි.
එන්නත් සඳහා පේටන්ට් අයිතිය ඉවත් කළ යුතු බවට එක්සත් ජනපදයේ ස්ථාවරයද ඇය නැවත නැවතත් පැවසූ අතර, ලෝකයේ වෙනත් රටවල එන්නත්කරණය වළක්වන සැපයුම්දාම ගැටලු විසඳීම සඳහා ඔවුන් හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවද පැවසුවාය.
මිලියන 67ක ජනගහනයක් සඳහා බ්‍රිතාන්‍යය විසින්ද දැනටමත් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 500කට වඩා ඇණවුම් කර ඇති අතර, එහි අවශ්‍ය නොවන මාත්‍රා පරිත්‍යාග කරන බව ඔවුන් දැන් පවසා සිටී.