ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික දත්තවලට අනුව 2020 දී ලොවපුරා අතිරික්ත මරණ මිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඉන් ගෝලීය වශයෙන් වාර්තා වූ මිලියනයකට වඩා මරණ සංඛ්‍යාවක් කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ විය හැකි බවට නවතම අනාවරණයක් සිදුකර තිබේ.
සාමාන්‍ය තත්ත්වයන්ට වඩා නිශ්චිත කාල පරිච්ඡේදයක සිදුවන මරණ හෙවත්, සාමාන්‍ය තත්ත්වයන් යටතේ අපේක්ෂිත මරණ සංඛ්‍යාවට වඩා යම් රෝගයක හෝ හානිකර සිදුවීමක බලපෑම පෙන්නුම් කරන මරණ, අතිරික්ත මරණ ලෙස සැලකෙයි.
WHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, "ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි."
අතිරික්ත මරණ අනුපාතය පිළිබඳ මූලික තක්සේරු කිරීම් අනුව 2020 වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ අතිරික්ත මරණ මිලියන 1.34 සිට 1.46 අතර ප්‍රමාණයක්ද, යුරෝපීය කලාපයේ මිලියන 1.11 සිට 1.21 අතර ප්‍රමාණයක්ද සිදුව ඇති බව වාර්තාව පවසයි. මෙය ඇමෙරිකාවේ නිල වශයෙන් වාර්තා වූ මරණවලට වඩා 60%ක් වැඩි වන අතර යුරෝපීය කලාපයේ වාර්තා වූ මරණ මෙන් දෙගුණයක් වැඩි මරණ සංඛ්‍යාවකි.
අනෙකුත් කලාපවල සැලකිය යුතු දත්ත හිඩැස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. විශේෂයෙන් අප්‍රිකානු කලාපය, නැගෙනහිර මධ්‍යධරණි කලාපය, අග්නිදිග ආසියානු කලාපය සහ බටහිර පැසිෆික් කලාපය ආදියෙහි, මෙම කලාප සෑදී ඇති සාමාජික රටවල් 106න් 16ක් පමණක් 2020 අතිරික්ත මරණ අනුපාතය ගණනය කිරීමට ප්‍රමාණවත් දත්ත තිබේ.
"අතිරික්ත මරණ වසංගතයේ පූර්ණ බලපෑම පිළිබඳ වඩාත් නිවැරදි චිත්‍රයක් සපයයි. මන්දයත් රෝගයට සෘජුවම ආරෝපණය කර ඇති සමස්ත කොවිඩ්-19 මරණ මෙන්ම, වසංගතයේ වක්‍ර බලපෑම් සහ සංචාරක සීමා කිරීම් වැනි දෑ එයට ප්‍රතිචාර දැක්වීම නිසාය." වාර්තාව පවසයි.
මෙම මිලියන 3ක අතිරික්ත මරණ ප්‍රධාන වශයෙන් ඇමෙරිකානු කලාපයෙන් සහ යුරෝපීය කලාපයෙන් ලබාගත් ප්‍රතිඵල තාවකාලිකව ගණනය කිරීමෙන් ලබාගෙන ඇති බවත්, ඇස්තමේන්තුවේ නිවැරදිම චිත්‍රයක් ලබාගැනීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ අතිරේක සංඛ්‍යාන ආකෘති නිර්මාණය අවශ්‍ය බවද වාර්තාව වැඩිදුරටත් පවසයි.