2020 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් 30%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීම ඉලක්ක කොට ඇති බවත්, එය 2030 වර්ෂය වන විට 50% දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ, හම්බන්තොට, බරුතකන්ද ඉදිකළ සුළංබල උද්‍යානයේ පැවැති සුළංබල මෙහෙයුම ජාතික උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා අතින් මෙම උද්‍යානය විවෘත කෙරිණි.
“මේ වනවිට ලංකාවේ විදුලිබල උත්පාදනයේ දිශානතිය පුනර්ජනනීය බලශක්තිය දෙසට යොමුවෙලා තිබෙනවා. මේ සඳහා උපයෝගි කරගනු ලබන ප්‍රධානතම පුනර්ජනනීය ප්‍රභවයන් වශයෙන් ජලය, හිරු එළිය සහ සුළං හඳුන්වා දියහැකියි. මේ වනවිට අපි විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය උපරිමයෙන් යොදාගෙන තිබෙනවා. ඒ වගේම සූර්යබලයෙන් විදුලිය නිෂ්පාදනයත් ඉතාමත් ශීඝ්‍රයෙන් ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඒ අතර තමයි මේ සුළංබල මෙහෙයුම අපි ආරම්භ කළේ. අපේ ඉලක්කය 2020 වෙද්දි මේ රටේ විදුලිබල නිෂ්පාදනයෙන් 30%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කරන්නයි. 2030 දී මෙය 50% දක්වා වැඩිකළ යුතුයි. ඒ සඳහා සුළංබල මෙහෙයුමෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.