2020 වසරේදී ගුවන්ගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු එළැඹෙන 2018 වසරේදී ආරම්භ කිරීමට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු යොදා තිබේ.
එම ආයතනය සඳහන් කර සිටින්නේ, එහි මූලික අදියරයන් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම මීට සමගාමීව රුසියාව සමග එක්වෙමින් දෙරටේ මිත්‍රත්වය මත තවත් නැනෝ වන්ද්රිකාවක් රුසියාවේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයිද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
පෘථිවියට ඉහළින් කිලෝමීටර් 400, 500ත් අතර ප්‍රමාණයකින් ගමන් කරනු ලබන ඉතා කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රෝනික පද්ධතියක් වන නැනෝ චන්ද්‍රිකාවක බර කිලෝ ග්‍රෑම් 01 - 10 අතර අගයක් ගනී.
චන්ද්‍රිකාවේ ප්‍රමාණය සඳහා සම්මත මිනුම් ඒකකය සෙ.මී. 10x සෙ.මී. 10x සෙ.මී.10 ප්‍රමාණයේ ඝණකයක් වන අතර, එය ඒකකයක් (1 unit) ලෙස සැලකේ.
සාමාන්‍යයෙන්, ඒකක 1,2,3,4 යනාදී වශයෙන් ඒකක 12ක් දක්වා ප්‍රමාණයන්ගෙන් දැකිය හැකි නැනෝ චන්ද්‍රිකා නිෂ්පාදන වියදම අඩු වීම, අඩු බලයකින් ක්‍රියා කරවීමේ හැකියාව, විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා ගුවන්ගත කරන රොකට් යානයක විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් මුදා හැරීමට ඇති හැකියාව මෙන්ම විවිධ අංශ සඳහා දායකත්වය ලබාගත හැකි වීම හේතුවෙන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
මෙහිදී සන්නිවේදන කටයුතු, කාලගුණික දත්ත ලබා ගැනීම, කෘෂිකර්මාන්තය ආශ්රිත දත්ත ලබා ගැනීම, චන්ද්‍රිකා ඡායාරූපකරණය, සුනාමි අනතුරු හඳුනා ගැනීම, නැව් හා බෝට්ටු ඇති ස්ථාන හඳුනා ගැනීම, විශාල චන්ද්‍රිකා මගින් ආවරණය නොවන කලාප ආවරණය කිරීම වැනි විෂයයන් සඳහා නැනෝ චන්ද්‍රිකා මගින් සක්‍රීය දායකත්වයක් ලබා ගනී.
කෙසේ වුවද, විශාල ප්‍රමාණයේ ස්ථාවර චන්ද්‍රිකාවක් හා සැසඳීමේදී නැනෝ චන්ද්‍රිකාවක ආයු කාලය කෙටි අගයක් ගන්නා අතර, සාමාන්‍යයෙන් එය මාස 06 සිට අවුරුදු 10ක් දක්වා වූ කාලපරාසයක් ගන්නා බව සඳහන් වේ.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පෘථිවියට ඉතා ආසන්න මටටමින් භ්‍රමණය වීම තුළ ඒ මත ප්‍රථිවියේ ගුරුත්වාකර්ක්ෂණයෙන් ඇතිවන බලපෑම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
නැනෝ චන්ද්‍රිකාවක් සතු තාක්ෂණික කොටස් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය සූර්ය බල ජව සැපයුම (Electronic Power Supply Subsystem), පරිගණක පද්ධතිය (On Board Computer Subsystem), හැසිරීම නිරීක්ෂණය හා පාලන පද්ධතිය (Attitude Determination and Control Subsystem), සන්නිවේදන පද්ධතිය (Communication Subsystem), චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටුකර ගැනීම සඳහා එකලස් කර ගනු ලබන සන්නිවේදක කොටස්වලින් යුත් භාරය (Pay Load Subsystem) යනාදී අංගයන්ගෙන්ද සමන්විත වේ.
මෙහිදී ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් හරහා නැනෝ චන්ද්‍රකා තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත සම්පූර්ණයෙන් ලබාදීමට හා අදාළ චන්ද්‍රිකා උඩුගුවනේ ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා රුසියාවේ 'සමාරා' අභ්‍යවකාශ විශ්වවිද්‍යාලය කැමැත්ත පළකර තිබිණි.
ඒ අනුව එහි පළමු අදියර ලෙස රුසියානු චන්ද්‍රිකා විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් යුත් වැඩමුළුවක් වසර මුලදී ශ්‍රී ලංකාවේ පැවැති අතර, දෙවැනි අදියර ලෙස තෝරාගත් ඉංජිනේරුවෝ හා විද්‍යාඥයෝ 17 දෙනෙක් රුසියාව වෙත ගොස් මේ පිළිබඳ වැඩිදුර අවබෝධයද ලබා ගත්හ.