පාසලේ තාක්ෂණවේදී විෂය හදාරණ දරුවන්ට විශ්වවිද්‍යාලයේදී විද්‍යා තාක්ෂණය සඳහා 2016 දී අලුතින් උපාධියක් අරඹා ඇති බවත්, 2016 වනවිට 1,500කට වැඩි පිරිසක් අලුතින් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (6දා) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන Future Minds - 2014 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව වසා ඇති පාසල් 500ක් විවෘත කළ බවද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය. එමෙන්ම, විද්‍යා අංශයෙන් අධ්‍යාපනය නොලැබූ පාසල් ගණන විද්‍යා අංශ ආරම්භ කළ බවද පැවසූ අමාත්‍යවරයා පාසල් යාමේ අනිවාර්ය වයස අවුරුදු 16 දක්වා වැඩි කරමින්, මෙම රජය යටතේ නිදහස් අධ්‍යාපනයේ වැඩිම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කළ බවද පවසා සිටියේය.
මේ රටේ විභාග ක්‍රමයට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා කිසිසේත්ම මැදිහත් වී නොමැති බවත්, තමන් සිටින තුරු කිසිවෙකුටත් විභාග ක්‍රමය දේශපාලනීකරණය කිරීමට ඉඩනොදෙන බවත් ඔහු පැවසීය.
අධ්‍යාපනයට පොඩි හෝ වැරැද්දක් කිරීමෙන් දසදහස් ගණනක දරුවන්ගේ ජීවිත විනාශ විය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තමන්ගේ කුමන න්‍යායපත්‍රයක් තිබුණත් මේ රටේ විභාග ක්‍රමය දේශපාලනීකරණය කර හෝ
විද්වතුන්ගේ ක්‍රියාවලියකට යටත් කර කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම, 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත අනුව මේ ගැන ක්‍රියාකරන්න අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා නීතියෙන් බැඳී සිටින බව ද පෙන්වා දුන්නේය.
විභාල ප්‍රශ්නපත්‍ර සැකසීම, වෙනස් කිරීම හා ඒ කටයුතු කරන්නන්ගේ විනය පවත්වාගෙන යාම ආදිය පිළිබඳ ස්වඅභිමතය පරිදි විභාග කොමසාරිස් ජනරාල්ට විභාග පනතින් බලය පැවරී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය. එය කිසිවෙකුටවත් ප්‍රශ්න කළ නොහැකි බවත්, මහජන විශ්වාසය රැකිමට, දේශපාලන බලපෑම් නැතුව කටයුතු කිරීමට ඔහුට පනතින් පැවරී ඇති බවද හෙතෙම පවසා සිටියේය.
වර්තමානයේ විභාග ප්‍රශ්නපත්‍ර සැකසීම ගැන ඇති වූ ගැටලුව ප්‍රශ්නපත්‍ර සකසන විද්වතුන් කිහිපදෙනකු ඉවත් කිරීම නිසා ඇති වූවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලක්ෂ ගණන් දරුවන්ගේ විභාග ක්‍රමය කඩාකප්පල් කරමින්, ජීවිතය අඳුරු කිරීමට මේ ආණ්ඩුවට අනුව කටයුතු කිරීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
දරුවන්ට ජීවිතය ලැබෙන ලෙස විභාග ක්‍රමය වෙනස් කළ යුතු බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා, මේ විභාග ක්‍රමය කඩාකප්පල් කළොත් අන්ත අසරණ දරුවන්ගේ අනාගතය කඩා වැටෙනු ඇති බවද පවසා සිටියේය.