වර්ෂ 2016 අවසන් වීමට පෙර සියලු දෙනාට නව හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පවසා සිටියේය.
සරත් කුමාර මහතා මෙසේ පවසා සිටියේ අද (02දා) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ,
"නව ක්‍රමවේදය යටතේ සියලු දෙනාට නව අංකයක් සහිත නව හැඳුනුම්පතක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා. විද්‍යුත් හැඳුනුම්පත් ලබාදීමේ කටයුතු සඳහා අවශ්‍ය මූලික පියවරක් වශයෙන් සියලු ග්‍රාම නිලධාරීවරුන් තොරතුරු හා ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා පුහුණු කරමින් පවතිනවා. තොරතුරු ලබාගැනීමේ කටයුතු ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කරනවා.
නව ක්‍රමවේදය හරහා එකම අංක කාණ්ඩයක් යටතේ හැඳුනුම්පත් දෙකක් නිකුත් වීමට කිසිදු හැකියාවක් නැහැ. පැරණි ක්‍රමය යටතේ එසේ අංක කාණ්ඩ ලැබී ඇති පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම පරිදි නැවත නිවැරදි කිරීමට කටයුතු අවස්ථාව පවතිනවා" යැයි සරත් කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.