ලබන වසරේ ජනවාරි 31 වැනිදා වනවිට ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදෙන බවත්, මේ අනුව පැය 24 පුරා රටේ සමස්ත පවුල්වලට විදුලිය ලබාදෙන දකුණු ආසියාවේ ප්‍රමුඛතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
සැමට විදුලිය ලබාදීම යටතේ අනවසර පදිංචිකරුවන්ට සහ පොල් අතු, ඉලුක් සෙවිලි කර තිබෙන සියලුම නිවාසවලටද විදුලිය ලබාදෙන බවත්, ඉලුක් සහ පොල් අතු සෙවිලි කළ නිවාසවලට විදුලිය ලබාදීමේදී නිවස තුළ විදුලි රැහැන් ඇදීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදෙන බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැමට විදුලිය ලබාදීම යටතේ විදුලි සම්බන්ධතා ලබාගැනීමට මුදල් නොමැති සියලු දෙනාට රුපියල් 40,000 ක ණය මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි.
ණය මුදල් වශයෙන් ලබාදෙන මුදල වාරික ක්‍රමය යටතේ විදුලි බිලට එකතු කර අය කරගැනීමට කටයුතු කරන බවත්, ණය ලබාදීමට කිසිදු ඇපයක් තැබීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
නිවස අසලින් විදුලි රැහැන් ගමන් කළත් විදුලි සම්බන්ධතා නොමැති නිවාස 175,000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, සමස්තයක් ලෙස නිවාස ලක්ෂ 02කට විදුලිය නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
සැමට විදුලිය ලබාදීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට විදුලිය ලබාදීමේ කටයුතු දෙසැම්බර් 04 වැනිදා වනවිට අවසන් කරන බවත්, සමස්ත ශ්‍රී ලංකාවටම ලබන වසරේ ජනවාරි 31 වැනිදා වනවිට විදුලිය ලබා දී අවසන් කරන බවත් ඔහු තවදුරටත් පවසා සිටියේය.