නවසීලන්තයේ ඔක්ටන් සත්ත්වෝද්‍යානයට ලබාදුන් අලි පැටවාගෙන් පසුව 2016 වර්ෂය වනතෙක් මෙරට අලි පැටවුන් විදෙස් රටවලට ලබාදිය නොහැකි බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුර ද සිල්වා මහතා පැවසීය.
මෙරටින් විදෙස් රටවලට ලබාදිය හැක්කේ පින්නවල අලි අනාථාගාරයේ ඉපදුණු, වයස අවුරුදු 05 ට වඩා වැඩි අලි පැටවුන් පමණක් බවත්, 2016 වර්ෂය වනතුරු අදාළ වයස සම්පූර්ණ කළ අලි පැටවුන් පින්නවල අලි අනාථාගාරයේ නොමැති වීම මීට හේතුව බවත් අනුර ද සිල්වා මහතා සදහන් කළේය.
නවසීලන්තයෙ ඔක්ටන් සත්ත්වෝද්‍යානයට අවුරුදු 08 මාස 03 ක් වයසැති ගැහැනු අලි පැටවෙකු සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ පසුගියදා ලබාදුන් බවත්, ඒ වෙනුවට දකුණු අප්‍රිකාවෙන් ජිරාෆ් සතුන් තිදෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට අදාළ සියලු වියදම් නවසීලන්තයේ ඔක්ටන් සත්ත්වෝද්‍යානය දරන බවත් අධ්යක්ෂවරයා පැවසීය.
තවද වසරකට දෙදෙනා බැගින් මෙරට සත්ත්ව පාලකවරුන්, සහකාර අධ්යක්ෂවරුන් සහ පශු වෛද්‍යවරුන් වසර තුනක් ඇතුළත පුහුණු කිරීමට අදාළ වියදම් සහ පහසුකම් ලබාදීමටද නවසීලන්තයේ ඔක්ටන් සත්ත්වෝද්‍යානය එකඟ වූ බවද අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
නවසීලන්තයට යවන ලද අලි පැටවා පිළිබඳ සෞඛ්‍ය වාර්තා සහ සියලුම වාර්තා නිරවුල් බවද, විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත එය සිදුකළ බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.