2015 අයවැය
රුපියල් 5200 ක මුදලක් රාජ්‍ය සේවකයාගේ වැටුපට ලබාදෙනවා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අයවැයෙන් රාජ්‍ය සේවකයාට වැඩිවූ වැටුප් සහ දීමනා ලබාදීම යටතේ රාජ්‍ය සේවකයාට ජනවාරි මාසයේ සිට රුපියල් 2200 ක දීමනා මුදලක්ද, මීට අමතරව වැටුපට වැඩිවූ ගණන තීරණය කරන තෙක් රුපියල් 3000ක අන්තර් වැටුප් දීමනාවකුත් සමග රුපියල් 5200 ක මුදලක්ද රාජ්‍ය සේවකයාගේ වැටුපට ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් නිසි ලෙස සකස් කළ පසු මාණ්ඩලික නොවන නිලධාරීන්ට සියලුම හිඟ මුදල් සමග ජූලි මාසයේද වැටුප් ලබාදෙන බවත්, මාණ්ඩලික නිලධාරීන්ට සියලුම හිඟ වැටුප් සමග සැප්තැම්බර් මාසයේදී වැටුප් ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, විශ්‍රාමිකයාට අයවැයෙන් ලබාදුන් වැටුප් වැඩිකිරීම සකස් කරන තෙක් ජනවාරි මාසයේ සිට රැපියල් 2500 ක අන්තර් වැටුප් දීමනාවක් ලබාදෙන බවත්, වැටුප් වැඩිවීම සකස්කළ පසු සියලුම හිඟ වැටුප් සමග විශ්‍රාම වැටුප් ලබාදීම සිදුකරන බවත්ය.
මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රැපියල් 15,000 දක්වා ඉහළ දමා තිබෙන බවත්, මේ අනුව ජීවන අංක දීමනාව ලෙස ලබාදෙන රුපියල් 10,000ක මුදල සහ අතිකාල ඇතුළු අනෙකුත් මුදල් නිසා රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රැපියල් 30,000 දක්වා ඉහළගොස් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේක නංගි පෙන්වා අක්කා දෙන විදියේ අයවැයක්
එක්සත් ජාතික පක්ෂය
මෙවර අයවැයේදී රජයේ වියදම් සඟවා ඇති බවත්, ඒ නිසා මෙය නංගි පෙන්වා අක්කා දෙන විදියේ අයවැයක් පමණක් බවත් එක්සත්
ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
2015 අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පවසා සිටියේය.
&ඉතාමත්ම කැත විදියට නංගි පෙන්වා අක්කා දෙන විදියේ අයවැයක් තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. මෙහි කොලේ වහලා රජයේ විදයම් සැඟවීමක් කර තිබෙනවා. අපි හිතමු, ගෙදරට මහත්තයා රැ.40,000/- ක් ගේනවා. නෝනා හැමදාම වියදම් කරන කොට ඒ වියදම් ලියනවා. අද පොළට ගියා රැ.1,000/- යි, පුතාගෙ පන්තියට රු.500/- යි, කියා ඔහොම ලියාගෙන යනවා. හැබැයි, මහත්තයා කිසි ලිවිල්ලක් නැතිව වියදම් කරනවා. අන්තිමට නෝනා බලනවිට සල්ලි ටික ඉවරවෙලා. මාසෙ භාගයක්වත් ගිහිල්ල නැහැ.
ඒ ආකාරයෙන්ම, ශ්‍රී ලංකාවේ පළමු වැනි වතාවට වියදම් ටික බජට් එකෙන් සඟවලා තියෙනවා. සමහර ආයතනවල වියදම් සම්පූර්ණයෙන්ම අයින් කරලා. මෙන්න මේ ව්‍යාපෘතිය, අර ව්‍යාපෘතිය කියමින් ඒ ඒ ව්‍යාපෘති නම් කළත්, මුදල් වෙන් කර නැහැ. එවිට, ඒ ආයතන කෙලින්ම පෞද්ගලික අංශයෙන් හා අනෙක් බැංකුවලින් ණය ගන්නවා. නමුත්, අපිට කියන්නෙ, ණය බර අඩුවන බවයි.
ලබන වසරේදී ගෙවිය යුතු ණය වාරිකය අයවැයට ඇතුළත් කර නෑ
ජනතා විමුක්ති පෙරමුණ
ලබන වසරට අදාළව අයවැය ඉදිරිපත් කිරීමේදී අප රට විසින් ලබන වසරේදී ගෙවිය යුතු ණය වාරික මුදල වන රුපියල් කෝටි 84,000 ක
මුදල ඇතුළත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ලබන වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1689 ක් බවත්, වියදම රුපියල් බිලියන 2210 ක් බවත්, මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 521 ක් බව පවසමින් ආණ්ඩුව ඉලක්කම් විජ්ජාවක් පෙන්වුවද සැබෑ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% ක් බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
රු.2,200 ක දීමනාවක් රාජ්‍ය සේවකයාට ලබාදෙන විටලබන වසරේදී එක් පවුලක් රු. 3,783 ක් රජයට බදු ගෙවනවා
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
රුපියල් 2,200 ක දීමනාවක් රාජ්‍ය සේවකයාට ලබාදෙන විට ලබන වසරේදී එක් පවුලක් ආසන්න වශයෙන් රුපියල් 3,783 ක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ දමා දීමනා සියල්ලම මූලික වැටුපට එකතු කරන ලෙසට වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ඉල්ලා සිටියත්, ආණ්ඩුව සිදුකර තිබෙන්නේ රුපියල් 2,200 ක දීමනාවක් ලබාදී රාජ්‍ය සේවකයාට මෙතෙක් ලැබුණු 20% ක වැටුප් දීමනාව මූලික වැටුපට එකතු කිරීම පමණක් බවද එම වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
මේ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදුකර තිබෙන්නේ උඩ සාක්කුවට රුපියල් 2,200 ක මුදලක් දමා, කලිසම් සාක්කු දෙකෙන්ම රුපියල් 3,783 ක් මංකොල්ල කා ගැනීම බව එම මධ්‍යස්ථානය නියෝජනය කරන අන්තර් සමාගම සේවක සංගමයේ සභාපති පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ,ෂමිල පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

