වර්තමානයේ ඇති වී තිබෙන එල් නිනෝ කාලගුණික තත්ත්වය 1998 වසරින් පසුව ඇති වූ දරුණුතම එල් නිනෝ තත්ත්වය බවට නාසා අභ්‍යවකාශ ඒජන්සිය අනතුරු අඟවයි.
මෙම එල් නිනෝ තත්ත්වය ගෝලීය කාලගුණයට දැඩි බලපෑමක් එල්ල කරන අතර, වර්තමානයේ ලෝකයේ රටවල් රැසක ඇති වී තිබෙන දැඩි වර්ෂාපතනය, සුළි කුණාටු, ගංවතුර හා ලැව්ගිනි එහි බලපෑම් නිසා ඇතිවන්නක් බවද පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම උතුරු අර්ධගෝලයේ මේ දිනවල පවතින අසාමාන්‍ය උණුසුම හා ජල ගැලීම්වලටද හේතුව මෙය බව පෙන්වා දී තිබේ.
එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත්, මෙවර දක්නට ලැබෙන ප්‍රබල එල් නිනෝ තත්ත්වයේදී චන්ද්‍රිකා ඡායාරූපවල පවා පෙර අනතුරු ඇඟවීමක් නොවූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වසර 50ක කාලය තුළ පැරගුවේ, ආර්ජන්ටිනා, උරුගුවේ සහ බ්‍රසීලයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයටද මෙම එල් නිනෝ තත්ත්වය හේතු වී තිබේ.
එල් නිනෝ බලපෑමක් ලොවට ඇතිවන්නේ සමකය ආශ්රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි. මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලයද උණුසුම් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස පොළව මතුපිට උෂ්ණත්වයද ඉහළ යයි.
එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසද පෙන්වාදිය හැකිය. මෙය වරින් වර දකුණු ඇමෙරිකාව ආශ්රිත ශාන්තිකර සාගර වෙරළාසන්නව ඇතිවේ.