2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දේවි’ කියා, ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
අද (30) පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
“රැගෙන යමින් තිබූ අදූරදර්ශී මාවතින් එළියට අරන් අද අපේ රට ක්‍රමානුකූලව නිවැරදි මාවතක රැගෙන යමින් තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වුවත් 2/3ක බලයක් අපට ලැබුණේ මේ රටේ ජනතාව ස්ථාවරභාවය ඉල්ලා සිටින නිසයි. ගෙවී ගිය වසර හතරහමාරක කාලය තුළ මේ රටේ ජනතාව අත්වින්දේ අවුල් වියවුල් සහිත පාලනයක්. ‘ඒ අවුල ඇති කරපු හවුලත් එපා! එවැනි අවුලක් ආයෙත් එපා!’ කියලයි ජනතාව 2/3ක බලයක් දුන්නේ. ඒ 2/3ක බලය, ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ලබා දුන්නේ ඉමහත් විශ්වාසයෙන්.
ඒ විශ්වාසය තුළ තිබෙනවා, 2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට ස්ථාවර කරන ‐ රට එක නීතියක් යටතට ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙවත් ‘මූලික නීතියක්’ හඳුන්වා දෙයි, කියලා. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක් එක් ජාතිකත්වයන්ට, එක් එක් ප්‍රදේශයන්ට වෙන වෙනම නීති පැවැතීම නතර කර, මුළු රටම එක නීතියක් යටතට රැගෙන ආ යුතුයි. එය අත්‍යවශ්‍යයි. එවැනි දැවැන්ත ජනතා බලාපොරොත්තුවක් 2/3ක බලයක් ලබා දීම පිටුපස තිබෙනවා.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යතුමන් දැනුම් දී තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති කොට තිබෙන වියවුල අපේ ආණ්ඩුවට නම් අදාළ නැහැ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒ අවුල අදාළ නැහැ. ඒ බල සාධක එකිනෙකා සමඟ හැප්පෙන්න යන්නේ නැහැ. ඒ නිසා මම නම් දකින්නේ අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාට වඩා 2/3 ජනවරමේ ආනුභාවයෙන් 1978 සිට රෙපයාර් කරමින් එන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට රට ස්ථාවර කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි.”