එක්සත් ජාතික පක්ෂය විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත්, එය සම්මත නොවුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිවරයා තීරණය කරනු ඇති බවත් පාර්ලිමේන්තු සභා නායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. නව ජනාධිපතිවරයෙකු පත්ව ඇති බැවින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවීමද අවශ්‍ය බව කිරිඇල්ල මහතා මෙහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමද එකට සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ විපක්ෂය සඳහන් කරන්නේ, පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ බිය නිසා බවද අමාත්‍යවරයා පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (06දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "1978 දී විධායක ජනාධිපති ධුරය ඇති කළ අවස්ථාවේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කිව්වා. නමුත් මේ වෙනකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු තිබුණත් ඒක කළේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කියපු අය අද එක්සත් ජාතික පක්ෂය එම යෝජනාව ගෙනාවම කකුලෙන් අදිනවා" යැයි පැවසීය.
ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තුවෙන් තම පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත්, එය සම්මත නොවුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිවරයා තීරණය කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
බලය අත්හැරීමට කැමැති ජනාධිපතිවරයෙකු මෙරටට පත්ව තිබෙන්නේ පළමු වරට බවත්, ජනාධිපතිවරණ සමයේ මෙම යෝජනා සමග එක්ව කටයුතු කළ ජාතික හෙළඋරුමය විරුද්ධ වීම අදහාගත නොහැකි පුදුමයක් බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වීම නිසා මෙම ප්රශ්නය පැනනැගී ඇති බවට තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.