ඡන්ද විමසුමට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී වුවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් අන්තර්ගතය පිළිබඳව එකඟතාවකට පැමිණීමට දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂවලට ඊයේ (27දා) නොහැකි වීම නිසා අද (28දා) අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.
විවාදය ආරම්භ වීමෙන් අනතුරුව පක්ෂ නියෝජිතවරුන් අදාළ සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී රජය හා විපක්ෂයේ දේශපාලන පක්ෂ තම සංශෝධන ඉදිරිපත් කළේය.
කෙසේ නමුදු මේ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ අතර, දෙපාර්ශ්වය අතර විෂමතා හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කරන ලදී.
එම කමිටුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් පත්කරන ලදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහාචාර්ය රාජීව විජේසිංහ, මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පත්කරන ලදී.
ඔවුන් අද (28දා) යළිත් රැස්වී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.
ඊයේ ආරම්භ කළ විවාදයෙන් අනතුරුව අද (28දා) දින සවස 6.00 ට ඡන්ද විමසීමට නියමිතය.
ආණ්ඩුවට අමතරව පක්ෂ නායකවරුන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදාළ පනත ජනතා අපේක්ෂාවන් එලෙසම ඉටු කිරීමට අපොහොසත් වුවද ඒ සඳහා සහාය දෙන බව පැවසීය.
මීට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියේ විධායක ජනපති ක්‍රමය වැනි ඒකාධිපතීන් බිහිකරන ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයකට තමන් සහාය දක්වන බවයි.
එසේම විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද කියා සිටියේ තම පක්ෂය ඉදිරිපත් කරන යෝජනා පිළිගන්නේ නම් ඊට සහාය ලබාදෙන බවයි.