මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස සහ ප්රජාතන්ත්රවාදය භාවිත කළ යුත්තේ සමාජය යහපත් කිරීමට මිස සමාජය නිරුත්තර කරමින් වැරදි මඟ යැවීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාසලේ ගුරුවරයෙක් දරුවෙකුට පහරක් ගැසූ විට උසාවියේ නඩු දමන තත්ත්වයකට අද අපේ සමාජය පත්ව ඇති අතර එය සාධාරණ ද අසාධාරණ ද යන්න පිලිබඳ බොහෝ සංවාද ඇතත් මුලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස සහ ප්රජාතන්ත්රවාදය භූක්ති විඳිනවා සේම එය සැබෑ ලෙස තේරුම් ගැනීම සහ අධ්‍යයනය කිරීම දෙමාපියන්ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවති “ගුරු ප්‍රතිභා ප්‍රභා ප්රණාම” උළෙල අමතමිනි. ශ්‍රී ලාංකේය පාසල් අධ්‍යාපනයේ මුරදේවතාවුන් වන් ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් තම වෘත්තියේ උත්තරීතර බව ලොවට කියාපාමින් දැයේ දරුවන්ගේ අනාගතය සුබදායී කිරීමට කැපවීමෙන් හා දිරියෙන් සිදුකරන සේවයට නිසි උපහාර දැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය “ගුරු ප්‍රතිභා ප්‍රභා” ප්රණාම උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
සමාජයක් සහ රටක් වෙනස් කිරීම දේශපාලනඥයින් සතු කාර්යයක් වුවද රටත්, සමාජයත් ආධ්‍යාත්මිකව සුවපත් කළ හැක්කේ ගුරුවරයාට බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ගුරු සේවයේ උන්නතිය වෙනුවෙන් රජයක් ලෙස ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බව ද කියා සිටියේය.