ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලීසිය විසින් තම යොවුන් වියේ පසුවන දියණියගේ හිස ගසා දැමූ බවට පාපොච්චාරණය කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සර්වේෂ් කුමාර් නැමති මෙම පියා හර්ඩෝයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් දෙසට පයින්ම ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සිය 17 හැවිරිදි දියණියගේ හිසද රැගෙන යමින් සිට ඇති බව පොලීසිය පවසයි.
"ඔහු පොලීසිය වෙත ගමන් කරමින් සිට ඇත්තේ තමා සිදුකළ දේ පාපොච්චාරණය කිරීමට බව මේ පුද්ගලයා කියා සිටියා." හර්ඩෝයි පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
"තම දියණිය තරුණයෙකු සමග සිටින ආකාරය දුටු බවත්, ඒ පිළිබඳව ඇති වූ කෝපය හේතුවෙන් මේ ඝාතනය සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා" යනුවෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
පණ්ඩෙතාරා ගම්මානයේ එළවළු වෙළෙන්දෙකු වන කුමාර් තම නිවසේ සිට පොලීසියට සැතපුමක් පමණ දුර පයින් ගමන් කරද්දී, ප්‍රාදේශවාසීන් පොලීසියට සිද්ධිය සැලකර ඇත.
කුමාර් තම දියණියගේ සම්බන්ධතාවය ගැන බලවත් නොසතුටින් හා කෝපයෙන් පසුවී ඇති අතර, දියණිය නිවසේ තනිවම සිටින අවස්ථාවක, ඇයව කාමරයක අගුලු දමා පිහියකින් ඇගේ හිස කපා දැමූ බව ඔහු වැඩිදුරටත් පොලීසියට පාපොච්චාරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධියේදී ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ඔහු සන්සුන්ව සිටි බවත්, හඬමින් කතා කිරීමක් හෝ නොවූ බවත් පොලීසිය පවසයි.
මෙම පියා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර එහිදී ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරනු ලැබේ. විමර්ශනය අවසන් වූ පසු චෝදනා ලැයිස්තුවක් සම්පාදනය කෙරෙන බව කියයි. ඔහුට විධිමත් චෝදනාවක් එල්ල වූ වහාම ඔහුට රජයේ නීතීඥයෙකු වෙත ප්‍රවේශය ලැබෙනු ඇති අතර, නඩු විභාගය තෙක් ඔහු අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසයි.
ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී ඉන්දියාව තුළද ප්රකටව ඇති පවුලේ ගෞරවයේ නාමයෙන් සිදුවන ඝාතන 24ක් වාර්තා වී තිබේ.