පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු ලබාදුන් කාන්තාවක් අද (30)දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
පසුගිය ජූලි මස 20 වෙනි දින පොල්ගහවෙල කහවත්තඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට පත් අදාළ කාන්තාව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පවසා ඇත්තේ එම මියගොස් ඇති පුද්ගලයාගේ පුතා විසින් තම පියාගේ ගෙල සිරකර මරා දමා ඇති බවට අසත්‍ය තොරතුරු පවසා ඇති බවත් එම තොරතුරට අනුව පොලීසිය විසින් අධිකරණ නියෝග මත නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව එය ස්වභාවික මරණයක් බවට තහවුරු වී ඇත.
දුරකථන මාර්ග ඔස්සේ අසත්‍ය තොරතුරු සැපයීම මත පොල්ගහවෙල පොලිසිය අධිකරණ නියෝග මත ඇමතුම ලබාදුන් දුරකථන අංකය ඔස්සේ අදාල ජංගම දුරකථන සමාගමෙන් ලද දත්ත වලට අනුව මෙම අදාළ සැකකාර පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (42) ක පමණ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලව්ව - අධිකාරි මුදියන්සේ