වර්තමානයේ මෙරට දේශපාලනය පික්පොකට්කරුවෙකු ලෙස කටයුතු කරන ආකාරයෙන් සිදුවන බවත්, පාර්ලිමේන්තුවේ දෙපැත්තේ ඉන්න අය දෙගොල්ලන්ටම 'හොරා' යැයි කීමට පටන් ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ණය යොදාගෙන වෙනත් පක්ෂ නිර්මාණය කරන පුද්ගලයන් බණ්ඩාරනායක මහතාගේ දෙවැනි ඝාතනය සිදුකළ බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (10දා) පැවැති අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
“2015 ට පෙර තිබූ අණ්ඩුව ජනාධිපතිවරණයේදී පරාජය වෙන්න බලපෑ මූලික කාරණයක් තමයි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් රාශියක් එදා කරන ලද දූෂණ වංචා හා අසාධාරණකම් කියලා ජනතාව දන්නවා. මම හිටපු නායකතුමාත් එක්ක එදා කතාවක් කරලා කිව්වා සභාපතිවරුන්ට මේ කරන වැරදි බරපතළයි, ජනතාවාදී විදියට මිනිස්සුන්ට ආදරය කරලා ආයතනවල වැඩ කරන්න කියලා.
හිටපු සභාපතිතුමා මගේ කතාවෙන් පස්සේ සභාපතිවරුන්ට කතා කරලා කිව්වා ඔන්න ඔය තමුන්නාසේලා කරගන්න දෙයක් හෙමින් කරගන්න, තමුන්නාන්සේලා දැනගන්න ඕන කියලා. මේවා ශාසනයට අයිතියි වගේ තමයි රටේ පොදු සම්පත්, පොදු ධනය, ජනතාවගේ දේපොළ වත්කම් ඒවාට කිසි කෙනෙක් අත තියන්න හොඳ නෑ.
අද උදේ පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තුවේ දෙපැත්තේ ඉන්න අය දෙගොල්ලන්ටම හොරා කියන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඔක්කොම අද උදේ ඉඳලා අනුරාධපුරයේ. කොළඹ කොටුවේ පික්පොකට් ගහන මිනිස්සු අදට වැඩිය හිටියා. අන්න හොරෙක්, අන්න හොරක්, හොරා දුවනවා කියලා පික්පොකට්කාරයොත් දුවනවා. මේක තමයි අද මේ රටේ දේශපාලනයේ සිදුවෙලා තියෙන්නෙ.
වංචාව, දූෂණය, හොරකම, දේශපාලනය කරන අයට අයිති දෙයක් නෙවෙයි. ඡන්දය ඉල්ලා මන්ත්‍රීවරු වෙලා ප්‍රාදේශීය සභාවද, පළාත් සභාවද, එතැන්ට එන හැම කෙනෙකුම මේ ජනතාවගේ සාංඝික වස්තු මේවා. මේවා ශාසනයට අයිතියි. මේවා ශාසනයට අයිතියි වගේම රටේ පොදු සම්පත්, පොදු ධනය, ජනතාවගේ දේපොළ වත්කම්. ඒවාට අත තියන්න හොඳ නෑ කිසිම කෙනෙක්. දේශපාලනයට ඇවිල්ලා සාක්කු පුරවාගෙන සල්ලි හොයාගෙන ජනතාව අමතක කරලා ජනතාවගේ හෘද සාක්ෂියට පයින් ගහලා, ධනේෂ්වරයන් වෙන්න, හොරකම් කරන්න, වංචා කරන්න, රාජ්‍ය දේපොළ ගසාකන්න මගේ පක්ෂයේ, තමුන්නාන්සේලාගේ පක්ෂයේ කිසිම කෙනෙකුට මම ඉඩ තියන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව මම ලබා දෙනවා.
මේකම තමයි අද මේ රටේ දේශපාලනයේ සිද්ධ වෙලා තියෙන්නේ. හොරා කවුද හොරකම් නොකරන මිනිහා කවුද කියන ප්රශ්නය මේ රටේ ජනතාව පැහැදිලිවම දන්නවා. ජනතාවගේ හෘද සාක්ෂිය තුළ ඒක තියෙනවා. ඒ නිසා අපට පිරිසුදු ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. පිරිසිදු නගර සභාවක් අවශ්‍යයි.
විනයක්, හික්මීමක් ඇතිව ජනතාවට ආදරය කරන නියෝජිත පිරිසක් අවශ්‍යයි. පිරිසිදු පළාත් සභාවක් පිරිසුදු පාර්ලිමේන්තුවක් මේ රටට අවශ්‍යයි. පිරිසුදු රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා මේ යන ගමනේදී අත ලකුණට ඡන්දය දීලා තමුන්නාන්සේලාගේ වගකීම ඉටු කරන්න. අපි හොඳ ගමක් හදනවා. අපි හොඳ නගරයක් හදනවා. අපි හොඳ රටක් හදනවා, අපි හොඳ පරපුරක් හදනවා. අපි ශක්තිමත් ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩ නගනවා. අපි දූෂණයෙන්, වංචාවෙන් තොර සමාජයක් හදනවා. හොඳ රටක් හැදීමේ වගකීම මම බාර ගන්නවා"