2014 වසරට පෙර ජාතික හැඳුනුම්පත් සැකසීම සම්පූර්ණයෙන් අතින් සිදුකළ නිසා එකම අංකයේ හැඳුනුම්පත් දෙකක් නිකුත් වීම වැනි දෝෂ සිදු වුවද දැනට ජාතික හැඳුනුම්පත් සැකසීම පරිගණක පද්ධතිය මගින් සිදු කිරීම නිසා දෝෂ රහිතව හැඳුනුම්පත් නිකුත් කිරීමේ හැකියාව තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙන අතර, මේ වසරේදී පාසල් සිසුන් සඳහා නව ජාතික හැඳුනුම්පත් 3,50,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන බවත්, ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය කෙරෙන විස්තර සහිත ඉල්ලුම්පත්‍ර මෙම මස 31 දිනට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව සියලුම විදුහල්පතිවරුන්ට සහ පාසල් අයදුම්කරුවන්ට දන්වා සිටී.
වයස අවුරුදු 15 සම්පූර්ණ වී ඇති සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. චක්‍රලේඛනයේ සඳහන් පරිදි සිසුන් විසින් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික කරන ලද සිය උප්පැන්න සහතිකයේ පිටපතක් සහ අදාළ ඡායරූප ඇතුළත් අයදුම්පත් මෙම මස 31 දිනට පෙර විදුහල්පතිවරුන් මගින් බත්තරමුල්ලේ, සුහුරුපායේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලයට එවිය යුතුය.
බොහෝ විදුහල්පතිවරුන් විභාගය ආසන්නව තිබියදී අයදුම්පත් එවීම නිසා සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී ඇතිවන ප්‍රමාදයන් හා තදබදය මගහරවා ගැනීමට අවශ්‍ය බැවින් මෙම මස 31 දිනට පෙර අයදුම්පත් එවිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.