සෞදි අරාබියේ වසර 11 ක් පමණ කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් නොලබා රඳවාගෙන සිටින ශ්‍රී ලාංකීය කාන්තාව ඉතා ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
අනුරාධපුර කැකිරාව ගෝනපතිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පස්දරු මවක් වන ඇය හේරත් මුදියන්සේලාගේ ධනවතී නම් වේ. ඇය 2003 වර්ෂයේ ජුලි මස 07 වැනි දින විදේශගත වී ඇති අතර, සෞදියේ නැගෙනහිර පළාතේ අලි කොබාර් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කර තිබේ.
මේ වනවිට ඇය එම නිවසේ රඳවාගෙන ඇති අතර, ලංකාවේ සිය ඥාතීන් සමග කිසිදු සබඳතාවයක් පැවැත්වීමට මොවුන් අවස්ථාව ලබා දී නැත. සෞදි තානාපති කාර්යාලයේ ජංගම සේවා නිලධාරීන් විසින් පසුගියදා ඇයව සොයාගත් අතර, ඇයව හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරයි.