සෝමාවතිය රක්ෂිතය හා ඒ ආශ්රිත පුරාවිද්‍යා නටඹුන් විනාශ වීම පිළිබඳව සොයාබැලීම සඳහා තමන් වහන්සේලා සමග එක්ව සිටි ඕනෑගම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා මැර තර්ජනයන්ට ලක්ව ඇති බවත්, එම විහාරස්ථානයේ එක් ස්වාමීන් වහන්සේ නමක මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
සෝමාවතිය රක්ෂිතය අවට ප්‍රදේශයේ සිදුවන විනාශය දැකගැනීම සඳහා ඕනෑගම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ නමක් සමග පසුගිය 14 වැනිදා තමන් වහන්සේලා වැඩම කළ බවත්, එදින රාත්‍රියේ එම භික්ෂූන් වහන්සේ බණකට වැඩම කර තිබුණු අවස්ථාවේ පැමිණි මැරයින් පිරිසක් විහාරස්ථානයේ සිටි කුඩා හිමිනමකට පොලුමුගුරුවලින් පහරදී තිබුණු බවත් ඥාණසාර හිමියෝ සඳහන් කළහ.
“මේ සියල්ල කෙරෙන්නේ අනවසරයෙන්. කිසිවක් නීතියානුකූල නැහැ. කුඹුක් ජාවාරම, සතුන් දඩයම් කිරීම මොවුන් විසින් සිදුකරනවා. අක්කර 12,000ක් විශාල රක්ෂිතයක් මේක.
මීට අමතරව චෛත්‍ය 15කට වැඩිය විනාශ කරලා තිබෙනවා. යුද්ධය තිබෙන කාලයෙත් මේ ප්‍රදේශයේ ගල්කණු උඩ තියෙන ටැම්පිට විහාර තිබුණා. 2009න් පසුව ඒවා සියල්ල බිම දාලා හරක් ගාල් හදලා තිබෙනවා. මොවුන් මෙම ජාවාරම් කරගෙන යන්නෙ වනජීවී, වන සංරක්ෂණ, කෘෂිකර්ම, ගොවිජන සේවා, පොලීසි යන සියලු ආයතනවලට අල්ලස් දීලයි.
සෝමාවතිය අවට ඕනෑගම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් අප සමග එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා 14 වැනිදා වැඩම කළා. අනතුරුව උන්වහන්සේ එදින රාත්‍රියේ බණකට වැඩම කර තිබුණා. ඒ වනවිට පන්සලේ සිටිය අවුරුදු 14ක පමණ පොඩි හාමුදුරු නමක් පන්සලට පිරිසක් එනවා දැක මොකද කියා අසා තිබෙනවා. දහවල් සංචාරයට එක්වුණු හාමුදුරුවො කොහෙද කියා එම පිරිස අසා තිබෙනවා. උන්වහන්සේ බණකට වැඩම කළ බව කීවිට පොඩි හාමුදුරුවන්ට ඔවුන් පොලුවලින් ගහලා තිබෙනවා. මේ ගැන පොලීසියට පැමිණිලි කරන්න කියා අප දැනුම් දුන්නා.
සෝමාවතිය අවට සිදුවන ජාවාරම්වලට විරුද්ධ වුණාම ඒවා හෙළිදරව්වීම වැළාක්වීමට සහ බලය පෙන්වීමට තමයි මෙම පහරදිම සිදුකළේ. ජාවාරම්වලට ඇඟිලි ගහන්න එන්න එපා කියලා මේ නොකියා කියන්නෙ. මේවා ගැන අපට කියන්න වගකිව යුතු කවුරුවත් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සීමා ලකුණු කරමින් සිටුවා ඇති ගල් සියල්ල ගලවා විසිකර තිබෙන නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක දවසින් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ පිළිබඳව සොයාබලා නැහැෙ" යැයි පැවසූහ.