දිවයින පුරා ඇති සියලුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (16දා) පස්වරුවේ විවෘත කර තිබේ.
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සදහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලමින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25ම සහ විදුලි ග්‍රීඩ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පවතී. කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ග්‍රීඩ් උප පොළවල් 35ක පමණි.
සෑම සම්ප්‍රේෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප්‍රමාණයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබදව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙමගින් ඉතා හොද දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම දෛනිකව ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වෙයි. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතී.
සම්ප්‍රේෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතී.

