එළඹෙන පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්රී කණ්ඩායම ඒකමතිකව අද (28දා) තීරණය කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවැති පළාත් සභා මන්ත්රී සංසදයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
එළඹෙන පළාත් සභා මැතිවරණයට මෙම මන්ත්රී කණ්ඩායම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ යුතු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්රී සහන් ප්රදීප් මහතා යෝජනා කළ අවස්ථාවේ සභාවේ සිටි සියලු මන්ත්රීවරු අත් ඔසවා ඊට කැමැත්ත පළ කළහ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්රීවරුන්ගෙන් 85%ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම නියෝජනය කරයි.