සනත්ගේ ඉල්ලා අස්වීම දයාසිරි නවත්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි 'අද'ට වාර්තා වේ. කණ්ඩායම් තේරීමේදී තමන්ට සිදුවන බලපෑම් හේතුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු තේරීම් කමිටුව මෙලෙස ඉල්ලා අස්වීම ලිඛිතව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකුට ලබාදී තිබුණද, මේ වනතෙක් ක්‍රිකට් ආයතනයෙන් එම ඉල්ලා අස්වීමට ප්‍රතිචාර දක්වා නොමැත.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවට රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මදුරසිංහ යන සාමාජිකයෝ ඇතුළත්ව සිටියහ. මෙහිදී සනත්, සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමත් සමග ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව තේරීම් කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙකුට ලබාදී ඇති අතර, එහිදී එම උසස් නිලධාරියා පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසී මෙම ගැටලුව නිරාකරණය කරගන්නා ලෙසයි.
අනතුරුව ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුණගැසී ඇති අතර, එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැටලුව සාකච්ඡා මට්ටමෙන් විසඳීමට පියවර ගෙන තිබේ.ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මෙලෙස ඉල්ලා අස්වීම හා ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීම සම්බන්ධයෙන් අප සනත් ජයසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
"ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධව කතා අසත්‍යයක්. ඒ වගේම මේ වනතෙක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණයක් අරගෙන නැහැ" යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා අතර හමුවක් පවත්වා ඇති අතර, එහිදී ක්‍රීඩා අමත්‍යවරයා සනත් ඇතුළු තේරීම් කමිටුවට අදාළ ධුරයන්හි ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට එකඟවී තිබේ.
මේ පිළිබඳව අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස් නොවන බවත්, සාකච්ඡා මට්ටමින් සියලු ගැටලු නිරාකරණය කළ බවත්ය.
"සනත් ඇවිත් මාත් සමග පොඩ්ඩක් කතා කරලා ගියා. ප්‍රශ්නයක් නෑ. මේ දේවල් සාකච්ඡා කරලා විසඳගෙන යමු කියලා එකඟතාවකට ආවා" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.සනත් ඇතුළු තේරීම් කමිටුව මීට පෙර අවස්ථා ගණනාවකදීම ඉල්ලා අස්වීමට තීරණය කළද, ඒවා සියල්ල සාකච්ඡා මට්ටමෙන් විසඳා ගැනීමට පියවර ගැනුණි.
ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අප ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමක් කිරීමට උත්සාහ කළද, ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

