බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාව වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන සංක්‍රමණිකයන් 157 දෙනා ඔස්ට්‍රේලියානු රජය විසින් මුහුදේ රඳවා තබා ගැනීම නීති විරෝධී නොවන බව එරට මහාධිකරණය තීන්දු කර තිබේ.
එම පිරිස පසුගිය ජූනි මාසයේදී එරට රේගු නෞකාවක මාසයක පමණ කාලයක් රඳවා තබා ගැනුණු අතර, ඒ පිළිබඳව පසුව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණි.
කෙසේ වෙතත් නඩු විභාගයේදී විනිසුරුවන් හතර දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන්නත්, තිදෙනෙක් ඊට විරුද්ධවද ඡන්දය දී තිබේ.
අධිකරණ තීන්දුවට අනුව එම දෙමළ ජාතිකයන් පිරිස ඉන්දියාවේ සිට පැමිණ ඇති නිසා නැවතත් ඔවුන් ඉන්දියාවට යැවීමේ අරමුණින් රේගු නෞකාවක රඳවා තැබීමට ඔස්ට්‍රේලියානු රජයට අයිතියක් ඇති බව තහවුරු වී තිබේ. මෙම තීන්දුවත් සමග එම පිරිසට වන්දි නඩුවක් දැමීමේ හැකියාවද ඇහිරී යන බව කියැවෙයි.