ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී තිබෙන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට අමතරව ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සහ මන්ත්‍රීවරියකට අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව ඇතැයි 'අද' ට වාර්තා වේ.
දින සියය වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සහ ව්‍යවස්ථා සංශෝධනය, නව මැතිවරණ ක්‍රමය කඩිනමින් සිදු කරගැනීමේ අරමුණ ඇතිව පෙරේදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර, මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධුර සහ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමනු ලැබිණි.
මෙම අමාත්‍ය ධුරවලට අමතරව අද (24දා) හෝ හෙට (25දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් ඇමති ධුර කිහිපයක් ලබාදීමට සැලසුම්කර තිබේ.
මේ පිළිබඳව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් සිදුකළ විමසීමේදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ තවත් අමාත්‍ය ධුර කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවීමට නියමිතව ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුර ලබාගෙන තිබෙන්නේ පක්ෂයේ අවසරය මත බවත්, ඉදිරියේදී අමාත්‍ය ධුර ලබාගැනීමට කටයුතු කරන්නේද පක්ෂයේ තීරණයකට අනුව බවත් ඔහු පවසා සිටියේය.
මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ මේ වනවිට කැබිනට් අමාත්‍ය ධුර 40 ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 14 ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 23 ක් සමග සමස්ත අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 77 ක් දක්වා ඉහළ ගොස් තිබේ.