දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 31 ක් සහිත නාවික සහන කණ්ඩායම් 31 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අද (26දා) සවස වන විට නාවික පුද්ගලයින් 197 දෙනෙකු අනුයුක්ත කොට ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.
විශේෂයෙන් දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 18 ක්ද යොදවා ඇත.
ඒ අනුව, කඹුරුපිටිය, නෙළුව, ඉමදූව, වඳුරඹ, පිටබැද්දර, අකුරැස්ස, මාතර, දෙයියන්දර, හේනකඩුව, හුංගම, පාදුක්ක, හංවැල්ල, මතුගම, පුවක්පිටිය, බුලත්සිංහල, බඳුරලිය, කළවාන උඩුගම සහ පිටිගල යන ප්‍රදේශයන්හි මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.
මේ වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් දකුණු පලාතේ අවතැන් වූ පුද්ගලයින් 357 දෙනෙකුට ආසන්න පිරිසක් මුදවා ගෙන ඇති අතර, බදුරලිය ප්‍රදේශයේ 200 කට අධික පිරිසක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ වේයන්ගල්ල, කුඩලිගම ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 64 දෙනෙකු ද අවධානම් ප්‍රදේශයෙන් මුදවා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කර ඇතැයිද නාවික හමුදා මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.