ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව මෙන් අවස්ථාවක් යළි උදා නොවන බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්වන ලෙසට ආණ්ඩුවට, ආණ්ඩුවේ පක්ෂවලට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලකරන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කකුලෙන් නොඅදින ලෙස හා ජන මතයට ගරු කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පෙරේදා (17දා) 'වමේ කේන්ද්‍රය' විසින් සංවිධානය කර තිබූ විද්වත් සංවාදයකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
අනිවාර්යයෙන්ම දැනට පවතින අන්තනෝමතික විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ගෙන එන බවට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා,
“විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමයි, මැතිවරණ සංශෝධනය කිරීමයි කියන සංශෝධන දෙක වෙන වෙනම තමයි ජනතාවට ඉදිරිපත් කළයුත්තේ. මොකද අද සමහරු කියනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළයුත්තේ ඒ සමගම මැතිවරණ ක්රමයද වෙනස් කරනවා නම් පමණයි කියලා. අපි සම්පූර්ණයෙන් සහාය දෙනවා, සම්පූර්ණයෙන් අනුමත කරනවා මේ දෙක එකට කරන්න පුළුවන් නම්. ඒක ඉතාම හොඳයි. නමුත් විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට මැතිවරණ ක්‍රමය පිළිබඳ එකඟත්වයක් ඇති වීම පූර්ව කොන්දේසියක් හැටියට දානවා නම් මම කියනවා කවදාකවත් මේක වෙන්නෙ නෑ. මැතිවරණ ක්‍රමය ගැන හැමෝටම එකඟවෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන එකඟ වනතුරු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතුයි කියන සමහරුන්ගේ මතය අති භයානකයි. මොකද ඒක පිළිගත්ත ගමන් විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම කඩාකප්පල් කරන්න පුළුවන්* යනුවෙන් කියා සිටියේය.
“අපි දන්නවා 1994 – 2000 කාලෙ කොතරම් උත්සාහ දැරුවත් අවසානෙ විධායක ජනාධිපති ධුරය නැති කරන්න බැරිවුණා. ඒ පිළිබඳ නොයෙකුත් දේ තිබුණා. ඒකෙ ක්‍රියාපටිපාටියේ දුර්වලකම් තියෙනවා, කාලය ගතවුණ නිසා නොයෙකුත් හේතු මතුවුණා. අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්දෙ දුන්නෙ නෑ. නමුත් අද ඒකෙ වගකීම කාටද දාල තියෙන්නෙ? මිනිස්සු කාටද බනින්නෙ. චන්ද්‍රිකා මහත්මියට තමයි බනින්නෙ. ඒ නිසා මේ සැරේ විධායක ජනාධිපති ධුරය නැති කරගන්න බැරිවුණොත්, විධායක ජනපති ක්‍රමය නැති කරගන්න බැරි විදියට දියාරු සංශෝධන ඉදිරිපත් කරලා මේක නැවතුණොත් මේකෙ සම්පූර්ණ දොස අහන්න වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. කවුද මේවා කියන්නෙ ජන පදනමක් තියෙන අයද මේ කතා කරන්නෙ. ඡන්දෙදි රාජපක්ෂට වැඩකරලා, මෛත්‍රිපාල සිරිසේන මහත්තයව විනාශ කරන්න වැඩ කරලා, අන්තිමට පරාජයට පත්වෙලා දැන් ඇවිත් අපට ලැබුණු ජනවරම ආපහු හරවන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ.
එක්සත් ජාතික පක්ෂයට ඉතාමත්ම හදිස්සියි මැතිවරණයකට යන්න. සමහර විට එක්සත් ජාතික පාක්ෂිකයන් හිතනව ඇති මේ දවස්වල රාජපක්ෂගෙ වෙනම වේදිකාවක් තියෙන හින්දා එතන ඡන්ද කඩලා තමන්ට වාසියක් ගන්න. අපි එක්සත් ජාතික පක්ෂයටත් කියනවා පටු විදියට හිතන්න එපා. දින සියය 150 වුණාට අපට කමක් නෑ, 180 වුණත් කමක් නෑ මේ වැඩේ කරන්න ඕන. පුළුවන් නම් මේ වැඩ දෙකම කරන්න ඕන. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නත් ඕන, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නත් ඕන. නමුත් අපි කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට පූර්ව කොන්දේසියක් හැටියට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අපට දාන්න බෑ. ඒ නිසා පටු වාසියට දේශපාලන තීන්දු ගන්නැතිව වැඩේ කෙරෙන පැත්තට මේක අරගෙන යන්න ඕන' යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා,
'මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාව නැති කරගන්න බෑ. මේ වගේ අවස්ථාවක් යළි එන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට, ආණ්ඩුවේ පක්ෂවලට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බල කරන්න ඕනෑ දවස් 100 වැඩපිළිවෙළ පිළිඅරගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට නායකත්වය අරන්, සභාපතිත් වුණාට පස්සෙ තව මොනවද කකුලෙන් අදින්නේ? රාජපක්ෂ යුගයේ හැරෙන්නට හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියෙ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕන කියන මතයේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ ජන මතයට ගරු කරන්න. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය විනාශ කරන්නේ නැතිව පොරොන්දු වුණ විදියට මේ වැඩේ කරන්න' යනුවෙන්ද ප්‍රකාශ කළේය.