විධායක ජනාධිපති ධුරය ප්රජාතාන්ත්රීකරණය විය යුතු බවත්, එසේ වීම තුළ කිසිදු ලෙසකින් රට අස්ථාවර නොවන බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඊයේ (16දා) බත්තරමුල්ල හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'ජනාධිපති ධුරය කිසිසේත්ම අපි ප්‍රතික්ෂේප කරලා නැහැ. අත්තනෝමතික බලතල සංශෝධනය විය යුතුයි කියලා අපි යෝජනා කළා. විධායක ජනාධිපති ධුරය ප්රජාතාන්ත්රීකරණය විය යුතුයි. මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සහ කැබ්නට් මණ්ඩලයේ අපි සාකච්ඡා කළා. රාජ්‍යයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සේනාධිනායකයා වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියත් ජනාධිපතිවරයම විය යුතු බවට සියල්ලෝම එකඟ වුණා.
ඒ අනුව එහි කිසිම සංශෝධනයක් සිදුවෙන්නෙ නැහැ නමුත් ජනාධිපතිවරයා සතු අසීමිත බලය ඉවත් කර ඒවා පාර්ලිමේන්තුවට ලබාදීමක් 19 වැනි සංශෝධනයෙන් සිදුවෙනවා. මෙම ක්‍රමය මගින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙනවා. පළාත් සභා සතු ඉඩම්, පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුවෙන්නෙ නෑ.' යැයි පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් විශේෂිත කරුණු ලෙස ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 දක්වා කෙටි කිරීම, ධුරකාල ප්‍රමාණය උපරිම වාර දෙකක් දක්වා සීමා කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුවේ බහුතරය අනුව සිදුකිරීම දැක්විය හැකිය. එහිදී අමාත්‍ය මණ්ඩලය අමාත්‍ය ධුර තිහකට සීමාවන අතර, අගමැතිගෙන් විමසා අමාත්‍යවරුන් පත්කිරීම සිදුකළ යුතුවේ. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේදී මාර්ගෝපදේශන වැඩපිළිවෙළක් හඳුන්වාදීමටද, ඕනෑම අපරාධකරුවෙකුට සමාව දීමට ජනාධිපතිවරයා සතු හැකියාව ඉවත් කිරීමටද, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමටද එමගින් කටයුතු කර තිබේ.
සැමට යුක්තිය ඉටුවන ලෙස කොට්ඨාස සහ ආසන මට්ටමින් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමටද මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර ඇති බව චම්පික අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහිදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කර තිබුණි. ඒ සඳහා ජාතික හෙළ උරුමය විරෝධය පළකර තිබූ අතර, මේ පිළිබඳව පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී එම සංශෝධන සිදුකිරීමට එකඟත්වය ලැබී තිබේ.