ජනපතිවරණයට වීරයෙක් ඉදිරිපත් කරනවා
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ට නොකර නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට ජනතා කැමත්ත මත වීරයෙකු ඉදිරිපත් කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර සහ මහින්ද චින්තන ඉදිරිදැක්ම ප්‍රතිපත්තියට අනුව විධායක බලතල අහෝසි
කරන බවට පොරොන්දු ලබාදී තිබෙන බව එම සංවිධානයේ සම්බන්ධීකාරක පූජය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
එම පොරොන්දු ඉෂ්ට නොකර තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් සකස් කරමින් තිබෙන බවත්, එහෙත් රටට විනකරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර යළිත් ජනාධිපතිවරණයකට පැමිණියහොත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට අවශ්‍ය ජන පෙළගැස්ම සිදුකරන බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.
ඊයේ (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ, විධායක බලතල අහෝසි කර ජනාධිපතිවරණයකට යන ලෙසට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඉල්ලා සිටියත්, ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට නොමැති බවයි.
මේ නිසා ඉදිරි ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කටයුතු කරන බවත්, එම කටයුත්ත මේ මස 12 වැනිදා සවස කොළඹ ගංගාරාමය අසල මුත්තයියා පිටියේදී ආරම්භ කරන බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.
මේ සඳහා සහභාගී වන ලෙසට සියලුම පක්ෂවලට ලිඛිතව ආරාධනා කර තිබෙන බවත්, මීට අමතරව සිවිල් සංවිධාන, බහුජන සංවිධානවලටත් ආරාධනා කර තිබෙන බවත් රතන හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව ප්රජාතන්ත්රවාදය අගයන සියලුම දෙනාටත් මේ සඳහා ආරාධනා කර සිටින බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ සිටින ආණ්ඩුව නියෝජනය කරන සියලුම දෙනාටත්, මේ සඳහා ආරාධනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද සහභාගී වී සිටියහ.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

