විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩු කරනවා සේම මැතිවරණ ක්රමයේ සිදුවන වෙනසත් එකක් සේ සලකා එකවර සිදුකළ යුතු බවත්, එසේ නොමැතිව තනි තනි වශයෙන් එය සිදුකිරීමට ගියහොත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 120 දෙනාගේ සහයෝගය ලබා නොදෙන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ඊයේ (11දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එක්සත් ජාතික පක්ෂය ගරු කළ යුතු බවත්, එසේ නොමැතිව කෑලි කෑලි වශයෙන් මෙය සිදු නොකළ යුතු බවත්ය.
විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩුකිරීම යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙනා ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කළයුතු බවත්, ජනාධිපතිවරයා කුමක් කළත් අධිකරණයට ගෙන යෑමට නොහැකි බවට තිබෙනා බලතලත් ඉවත් කළයුතු බවද සඳහන් කළේය.
මෙම බලතල අඩුකිරීමත් සමග මනාප ක්‍රමය අහෝසි කර සෑම කොට්ඨාසයකටම වගකියන මන්ත්‍රීවරයෙක් පත්වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ඇති කළයුතු බවද විපක්ෂනායකවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙය වනවා සේමා රටේ මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල දැඩි ඉල්ලීම වී තිබෙන්නේත් මනාප මැතිවරණ ක්‍රමය අහෝසිකර කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙකු පත්වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් බවත්, මේ සඳහා එක්සත් ජාතික පක්ෂ එකඟවිය යුතු බවද සඳහන් කළේය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ධුරය ඉතාමත් ඉක්මනින් නැතිකර දැමීමට සැලසුම්කර තිබෙන බවත්, ඒ සඳහා හදිසි පනතක් ගෙන ඒමට සැලසුම්කර තිබෙන බවත් පවසා සිටියේය.
හදිසි පනතක් ලෙස මෙය ගෙන ආවොත් ජනතාවට, සිවිල් සංවිධානවලට මේ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව නොලැබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට විරුද්ධව කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මීට අමතරව විධායක ජනාධිපති බලතල අඩුකිරීම යටතේ ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලතල ජනාධිපතිවරයා සතු කළයුතු බවද පවසා සිටියේය.
මෙම යෝජනාවලට පිටින් යම් කටයුත්තක් කළහොත් දැඩි තීරණයක් ගන්නා බවද සඳහන් කළේය.