ඉදිරි වසර 20ක කාලය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අනුව 2018 වසරේ සිට 2037 දක්වා කාලය සඳහා ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ සැලැස්ම සම්බන්ධයෙන් මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඒවාද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම යෝජනාවට අනුමැතිය ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව මේ සඳහා ජුනි මස 06 වැනිදා දක්වා මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.
මේ සඳහා වන ඔබගේ යෝජනා,
ලිපිනය - විදුලි ජනන සැලැස්ම පිළිබඳ යෝජනා, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 06 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 3.
ෆැක්ස් - 011 2 392 641 හෝ email – [email protected] යන ලිපිනයට යොමුකළ හැකිය. මේ සඳහා වාචිකව අදහස් දැක්වීමේ වාරයක් ලබන ජුනි 15 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගි වීමට කැමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දීමක් කළ යුතුය.
ඉදිරි වසරවලදී විදුලි ඉල්ලුම 5.9%කින් වර්ධනය වන බව ඇස්තමේන්තුගත කර ඇති අතර, ඒ අනුව 2018 වසර අග වන විට මෙගාවොට් 250ක ධාරිතාවකින් යුතු බලාගාර අවශ්‍ය වන අතර, එම අවශ්‍යතාව අනුව 2037 වනවිට මෙගා වොට් 6400ක පමණ ධාරිතාවකින් යුතු බලාගාර ඉදිකළ යුතු බවට විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තුගත කර තිබේ.
මේ සඳහා යෝජිත බලාගාර සැලැස්ම අනුව 2018 තුළදී මෙගාවොට් 15ක ධාරිතාවකින් යුතු කුඩා ජලවිදුලි බලාගාර, මෙගාවොට් 160 සූර්ය බලාගාර, මෙගාවොට් 05ක ජෛව ස්කන්ධ බලාගාර සහ මෙගාවොට් 320ක තාප බලාගාර ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව 2018 – 2037 කාලය තුළදී මෙගාවොට් 842ක ධාරිතාවකින් යුතු ජලවිදුලි බලාගාර, මෙගාවොට් 215ක කුඩා ජලවිදුලි බලාගාර, මෙගාවොට් 1389ක සූර්ය බලාගාර, මෙගාවොට් 1205ක සුළං බලාගාර, මෙගාවොට් 85ක ජෛව ස්කන්ධ බලාගාර, මෙගාවොට් 425ක ඉන්ධන බලාගාර, මෙගාවොට් 1500ක ස්වාභාවික වායු බලාගාර සහ මෙගාවොට් 2700ක ගල් අගුරු බලාගාර ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තබේ.
මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2,168කි.