වවුනියාව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහකන්නයේ හා යලකන්නයේ ගොවිතැන් නැවතුණු බවත්, මේ වනවිට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය නොමැති වීමෙන් පානීය ජලය ලබාදීමේ වැඩපිළිවළක් ආරම්භ කර ඇති බවත් වවුනියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.
වවුනියාව දිසාපතිවරයා මේ බව පවසා සිටියේ, වවුනියාවේ පවතින නියං තත්ත්වය පිළිබඳව විමසීමේදීය.
එහිදී වවුනියාව දිසාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
‘‘මෙවර අපේක්ෂිත කෘෂිකර්මික කටයුතු වවුනියාවේ දැඩි ලෙස පහළ බැහැල තියෙන්නෙ. ගොඩක් වගාවන් විනාශ වෙලා. වවුනියාවේ ගොවීන්ට මහ කන්නෙයි, යල කන්නයෙයි ගොවිතැන් කරගන්න බැරි වුණා. දැන් ඇවිත් තිබෙන යල් කන්නෙත් 10%කටත් අඩු ප්‍රමාණයක් තමයි ගොවිතැන් කටයුතු වෙලා තියෙන්නෙ.
මේ වනවිට බීමට ජලය නොමැති වීමේ තත්ත්වයක් ඇතිවී ගෙන යනවා. වවුනියාව උතුර හා සෙට්ටිකුලම් වැනි ප්‍රදේශවල සිටින දහසකට ආසන්න පිරිසකට අවශ්‍ය පානීය ජලය ලබා දෙන්න අපි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හරහා ජල බවුසර් මගින් ජල ටැංකි ස්ථාපිත කරන්න පියවර ගන්නවා.
මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට රජයෙන් ලැබී තිබෙනවා. පවතින නියඟය ඉදිරියටත් පැවතිය හොත් පීඩා විඳින ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඉදිරියේදී ජලසම්පාදන මණ්ඩලයෙත් සහාය අරගෙන වවුනියාවේ ජලය නොමැති ප්‍රදේශවලට ජලය සැපයීමට අවශ්‍ය පියවර ගන්නවා” යනුවෙනි.