වවුනියාව ඇටඹගස්කඩ ප්රදේශයේ දර කැඩීමට ගිය කාන්තාවෝ දෙදෙනෙක් ඊයේ (25දා) වලහෙකු පහරදීමෙන් තුවාල ලබා වවුනියාව මහරෝහලට ඇතුළත් කොට සිටිති.
ඇටඹගස්කඩ පදිංචි 56 හැවිරිදි කේ.සීලවතී හා 53 හැවිරිදි කේ සිරියලතා යන සහෝදරියන් දෙදෙනා මෙසේ රෝහල් ගත කර තිබේ.
කැලෑවේ දර කැඩීමට ගිය මෙම කාන්තාවන් දෙදෙනාට එක වර සැඟව සිටි වලහෙකු පහර දී තිබේ. මෙම පහරදීමත් සමග ඔවුන් දෙදෙනා කෑ ගසමින් දෙදෙනාට දෙදෙනා බේරාගැනීමට පොරබැදීම නිසා ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇත.
වලස් ප්රහාරයෙන් ඔවුන්ගේ හිසට හා මුහුණට තුවාල සිදුව ඇති අතර තුවාල සහිතව ගම්මානයට පැමිණීමෙන් පසුව ගම්වාසීන් විසින් ඔවුන් දෙදෙනා වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇත.
