ගොවීන්ට බියක් නොමැතිව වගා කිරීමට හැකි බවත් ගොවීන් විසින් වගා කරන ප්‍රධාන බෝග පහක් වන වී, මිරිස්, බී ලූනු, බඩ ඉරිඟු සහ අර්තාපල් වගා කිරීමේදී, ඔවුන්ට අස්වනු හානියක් සිදු වුවහොත්, රජය ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකළ රක්ෂණ වන්දි ලබා දෙන බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමරවීර මහතා එසේ සඳහන් කළේ කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ප්රදානය කිරීමේ වැඩසටහනකට අද (28දා) හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී එක්වෙමිනි.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙළ ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද වැඩපිළිවෙළක් බවත්, ඒ අනුව වී, බී ලූනු, බඩ ඉරිඟු, මිරිස්, අර්තාපල් යන බෝග වර්ග පහ වගා කරන ගොවීන්ට මෙම රක්ෂාණාවරණය හිමි වන අතර ඔවුන්ට වගා හානියකදී හෙක්ටයාර් 01ක් සඳහා රු. ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පිරිනැමෙන බවත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට 2018 වසර සඳහා රු. මි. 5228 වෙන්කර ඇති බවත් ඉදිරි සෑම වර්ෂයකදීම මීට සමාන මුදලක් කෘෂි රක්ෂණාවරණය නොමිලයේ ලබා දීම සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
මෙහිදී ගොවි මහතුන් 25 දෙනෙකුට අමාත්‍යවරයා අතින් කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ලබා දුන් අතර මේ සඳහා ප්‍රදේශයේ ගොවිජනතාව එක්ව සිටියහ.