පාර්ලිමේන්තුව ආරම්භයේදීම අද (08දා) තරමක් උණුසුම් තත්ත්වයක් හටගත්තේය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර, ආරම්භයේදීම කථානායකවරයා මන්ත්‍රීවරුන්ට අවධාරණය කළේ අද දිනයේ සිට පාර්ලිමේන්තුව සජීවීව විකාශය කරන බැවින් මන්ත්‍රීවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
කථානායකවරයා එලෙස සඳහන් කළද මහ බැංකුවේ ප්‍රශ්නයක් පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් අරභයා පාර්ලිමේන්තුව උණුසුම් විය.
කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව ආරම්භවීමට විනාඩි 08කට පමණ පෙර අදාළ කරුණ පිළිබඳව තමන්ට දැනුම්දුන් නිසා ඒ පිළිබඳ කරුණු කාරණා නොවිමසා අවස්ථාව ලබාදිය නොහැකි බවයි.
කෙසේ වෙතත් ඒ සඳහා අවස්ථාව ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ නැගී සිටි අතර, ඒ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද නැගී සිටියේය.
එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් “ඔයත් නැගිටලා සහාය දෙනවාද?* යනුවෙන් අසා සිටි අතර, එවිට වහාම නියෝජ්‍ය අමාත්‍යවරයා අසුන් ගත්තේය.
කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් කථානායකවරයාට කිහිප වරක්ම අවවාද කිරීමට සිදුවූ අතර, පසුව පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීමටද සිදුවිය.
කෙසේ වෙතත් විනාඩි 45කට පමණ පසුපාර්ලිමේන්තුව නැවත ආරම්භ විය.එහිදී අදාළ ප්‍රකාශය කියවීමට පමණක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අවස්ථාව ලැබිණි.
පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථාවේ සභාගැබ තුළ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් එක්ව උස් හඬින් කතා කරමින් සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා මහජන ගැලරියට පැමිණ එහි සිටි පාසල් සිසුන් සමග කතාබහ කරනු දැකගත හැකිවිය.
කෙසේවෙතත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරුදීමට නැගී සිටි අග්‍රාමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් සභාව යළිත් තරමක් උණුසුම් විය.
විපක්ෂයේ සිටින සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා පිළිගන්නවාද යැයි අගමැතිවරයා විමසීය.
ජනවරමට විරුද්ධවන පිනට පැමිණි පුද්ගලයන් යනුවෙන්ද අගමැතිවරයා ඔවුන්ට ඇමතීය.
ඒ අවස්ථාවේ වාසුදේව මන්ත්‍රීවරයා නැගිට යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අතර, “වාඩිවෙනවා පිනට ආපු මිනිස්සු යැයි අගමැතිවරයා ඔවුන්ට විවේචනාත්මකව පැවසීය.
කෙසේ වෙතත් අගමැතිවරයාගේ ප්‍රකාශ සභාවට නොගැළපෙන බව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලීය.
පසුව අද (08දා) දිනයේ විවාදයට ගත් පනත ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රීවරුන් සමහරක් සභාගැබෙන් ඉවත් වී ගියහ.