හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කරවමු යන තේමාවෙන් රත්නපුරයේදී පැවැත්වෙන රැලිය සඳහා පළාත් මහා අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධාන රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙක් සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා 'අද'පුවත්පතට සඳහන් කළේය.
රත්නපුරයේදී පැවැත්වෙන්නේ 'මහින්ද අගමැති කරවමු' රැලි මාලාවේ තුන්වැන්න බවත් එහෙත් මෙවර එය මන්ත්‍රීවරු 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මන්ත්‍රීවරු අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් ද සිටින බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර, රත්නපුර සීවලී ක්රීඩාගංණය අසලදී අද (26දා) සවස පැවැත්වෙන මහජන රැලියට බස්නාහිර පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් ඊයේ (25දා) ප්‍රකාශ කළහ.නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේ පක්ෂය කුමන තීරණයක් ගත්තද තමන් ඇතුළු මන්ත්‍රී පිරිස රත්නපුර රැලියට සහභාගී වන බවයි. පක්ෂයෙන් ඒ සඳහා වාරණයක් පනවා නැති බවද ඔහු කීය. ඒ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්ඩාර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා සඳහන් කළේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු රත්නපුර රැලියට සහභාගී වන බවයි.එසේම පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල සන්ධානය නියෝජනය කරන සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් මෙම රැලියට එක්වීමට නියමිත බවයි.
මේ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ දිවයින පුරා සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන් 300කට වඩා මෙම රැලියට එක්වන බවයි.