රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ‘සන්නසකින්’ ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රජයේ වනාන්තරයක අක්කර 9998ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයන්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.
දේශපාලනඥයන්, හිමිවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මත රජයේ වනාන්තරයේ අක්කර 10 සිට අක්කර 2000 දක්වා බිම් කොටස්කර විකුණමින් හා දීර්ඝකාලීනව බදු දී ඇතැයි අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.
රජයේ කැලෑව දේශපාලනඥයන්ට විකුණන බවට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව රහසිගතව සිදුකළ විමර්ශනයකදී සැකකරුට හෝ ඔහුගේ පරම්පරාවට කිසිදු හිමිකමක් නැති රජයේ කැලෑව සැකකරු විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මගින් විකුණා ඇති බව හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
බලයලත් මිනින්දෝරුවෙකු 1974 වර්ෂයේදී පිළියෙල කළ බව කියන පිඹුරක් උපයෝගී කර ගනිමින් නැවත නැවත එම පිඹුරට අයත් බිම් කොටස් කර අලුතින් සකස්කරන පිඹුරු ඉදිරිපත් කරමින් සැකකරු විසින් විවිධ කණ්ඩායම් මෙම ජාවාරම සඳහා පොළඹවාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැවසූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, මෙම දේපළෙහි දැනට සිටින එකම හිමිකරු තමා බව ප්‍රකාශ කරමින් සැකකරු නීතිඥයන් මගින් පැටිකිරි වාර්තා කිහිපයක් සකස්කරවාගෙන ඇති බවද වාර්තා වී ඇතැයි පැවසීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අයත් වන බිම් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් මෙම කූට සැලැස්ම ක්‍රියාවට නගා ඇති බවද, සමහරක් රාජ්‍ය නිලධාරීන්ගේ වක්‍ර සහයෝගය මත මෙම ජාවාරම සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති බවද මුලික පරීක්ෂණයේදී අනාවරණය කරගැනීමට හැකිවී ඇතැයි පැවසූ එම නිලධාරියා, මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අනුව මෙම කැලෑව තුළ අක්කර 105ක පුද්ගලික ඉඩම් ඇති බවත්, එසේ තිබියදී එම බිම් කට්ටි එකකට හෝ නිසි හිමිකමක් නොලැබූ තැනැත්තෙකු එම බිම් කට්ටිද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින බිම් කට්ටිද, ඊට අමතරව වන සංරක්ෂණ ආඥා පනත යටතේ රජයේ වනාන්තර ලෙස ගැනෙන ගණ කැලෑ සහිත විශාල ප්‍රදේශයක්ද ඇතුළත් වන සේ අක්කර 9998ක එකම හිමිකරු තමා ලෙස දක්වමින් ව්‍යාජ පිඹුරු හා ලේඛන මත හිමිකම් ඉදිරිපත් කොට ඇතැයිද පැවසීය.
වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, අතිරේක වන සංරක්ෂක ජනරාල් ලාල් අබේගුණසේකර, වන සංරක්ෂක නන්ද කුමාර හා නියෝජ්‍ය වන සංරක්ෂක සුමිත්‍ර ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර දිසා වන නිලධාරී උපුල් හෙට්ටිආරච්චි, අඩවි වන නිලධාරී චන්දිම කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.