ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා, යුක්රේනය තුළ සටන්වැදී සිටින බෙදුම්වාදී සටන්කරුවන් වෙත ආයුධ සැපයීමේ නිරත වී ඇති බවට චෝදනා ලැබ ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ විසින් පසුගියදා මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද කරුණු විමසා තිබේ.
ඒ අනුව මේ පිළිබඳව තමන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.
විදෙස් වාර්තා අනුව වීරතුංග මහතා මෙම සටන්කරුවන් වෙත රයිෆල් තුවක්කු සහ තවත් සුළු අවි ප්‍රමාණයක් ලබාදී ඇතැයි මෙසේ චෝදනාවට ලක්ව තිබේ.
යුක්රේනයේ අගනුවර වන කිව්හි පදිංචිව සිටින වීරතුංග මහතා, 'ක්ලබ් ලංකා' නමින් ආපනශාලාවක්ද පවත්වාගෙන යයි. එහිදී පාරිභෝගිකයන් වෙත ශ්‍රී ලාංකික ආහාර පාන ලබාදීම ඔහු සිදු කරනු ලබයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෑණා කෙනෙකුද වන වීරතුංග මහතා වෙත රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස පත්වීම් ලබාදුන්නේද රාජපක්ෂ මහතාම බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව සිටි වසර නමයක කාලයකදී රුසියාවේ මොස්කව් නුවර තානාපති කාර්යාලය තුළ සේවය කර තිබේ. කෙසේ වෙතත් වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විදේශ සේවය සඳහා ලබා දී ඇති සියලුම ආකාරයේ දේශපාලන පත්වීම් අහෝසි කර ඔවුන් නැවත මෙරටට කැඳවීමත් සමගින්ම ඔහු එම ධුරයෙන් ඉවත් කෙරිණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත නොපැමිණි වීරතුංග මහතා මේ වනවිට කවර ස්ථානයක සිටිනවාදැයි යන්න පවා කිසිවෙකුටත් පැහැදිලි නොමැති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
උදයංග වීරතුංග මහතා සිය තානාපති ධූර කාලය තුළදී, ශ්‍රී ලංකාව සඳහා රුසියාව සිදුකළ හමුදාමය සැපයුම් කිහිපයක් සඳහා සම්බන්ධ වී තිබේ. ඒ අතරින්ද ගනුදෙනු කිහිපයක් මෑතකදී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා පොලීසියට අනුබද්ධ, මූල්‍යමය අපරාධ පිළිබඳ වන පරීක්ෂණ ඒකකයේ පරීක්ෂා කිරීමටද ලක් කෙරෙමින් පවතියි. ඒ යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ ගිවිසුමක්ද ඇතුළත්ව ඇත.
මෙම රුසියානු හිතවාදී සටන්කරුවෝ නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාත තුළ වෙනම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සටන් වදිමින් සිටිති. එහිදී යුක්රේන හමුදා සහ මෙම රුසියානු සටන්කාමීන් අතර පෙබරවාරි 12 වැනිදා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක අතර එයද අවස්ථා ගණනාවකදීම බිඳීමට ලක්ව තිබේ. පසුගිය වසරේ සිට මාස 10කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක මෙම ගැටුම් හේතුවෙන් මේ දක්වා 6000 කට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබෙන අතර, සටන් විරාමය කඩ කිරීම පිළිබඳව මෙම රුසියානු හිතවාදී සටන්කරුවන් චෝදනා ලැබ තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද යුක්රේනයේ ජනතාව විසින් ධුරයෙන් පහ කළ හිටපු ජනාධිපති, වික්ටර් යනුකොවිච් සමගින් සමීප සබඳතාවක් පවත්වා තිබූ අතර, ඔහුගේ පාලන සමයේදී එරට සංචාරයක නිරතවීමටද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු යොදා තිබුණි.
(සන්ඩේ ටයිම්ස් ඇසුරිණි)